ත්‍රස්තවාදයට සම්බන්ධ වන අයට මරණීය දණ්ඩනය




ත්‍රස්තවාදයට හවුල් වන කුමන තරාතිරමක අයෙකුට වුවත් ඉදිරියේ බිහි කරන තම රජයක් යටතේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
නාත්තන්ඩියේ පැවති එම පක්ෂයේ ප්‍රචාරක රැලියක් අමතමින් ඒ මහතා මේ බව කීවේය. මෙහිදී තව දුරටත් කථා කළ හෙතෙම මෙසේද පැවසීය.
’’මේ වෙන කොට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවෙලා. නමුත් අපේ ආණ්ඩුව කියන්නේ අවුරුද්දක් යන තුරු තෙල් මිල අඩු කරන්නේ නැහැ කියලයි. නමුත් අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් ලැබෙන ජයග්‍රහණයෙන් පැය 24 ක් ගත වීමට පෙර තෙල් මිල පහත දැමීමට අපේ රජයක් යටතේ කටයුතු කරනවා.
මේ රටේ කඩා වැටුණු ආර්ථිකය අපි ගොඩ නගන්න ඕනෑ. ගරා වැටුණු දේශය අපි ශක්තිමත් කරන්න ඕනෑ. ගරා වැටුණු ආර්ථිකයට මුදල් සහ සම්පත් පොම්ප කළ යුතුයි. ඒ මගින් කළ යුතු වන්නේ ජනතාවගේ අතට මුදල් ලබා දීමයි.
1930දී ලෝකයේ තිබුණා මහා අර්ථික කඩා වැටීමක්. ඇමරිකාවේ එවකට සිටි ජනාධිපතිවරයා ආරම්භ කළා ආර්ථිකයට මුදල් පොම්ප කිරීම. ඒ නිසා අපේ රජයටත් සිද්ධ වෙනවා මේ වෙලාවේ මැදිහත් වෙලා ආර්ථිකයට මුදල් ලබා දෙන්න.
පසුගිය මාස හතරක කාලයේදී රුපියල් කෝටි ගණනක මුදල් අච්චු ගැහුවා.ඒ අච්චු ගහපු මුදල් වලින් කළේ මොනවද කියන එක කව්රුවත් දන්නේ නෑ.
ආර්ථිකය ගොඩනැගීමට නම් මධ්‍යම පන්තියේ සිට පහළට රුපියල් 20,000 ක ආධාරයක් අපි අනිවාර්යෙන්ම දෙනවා. ඒක හැමදාම ලබා දෙන සහනයක් නෙමෙයි. ආර්ථිකය යථා තත්ත්වයට පත් වන විට ඒ සහනාධාරය ඉවත් කරනවා. මේක තමයි එකම විකල්පය බව අංශු මාත්‍රයක හෝ මොළයක් තියන කෙනෙක් තේරුම් ගන්න ඕනෑ. ඇමරිකාව, මහා බ්‍රිත්‍යාන්‍ය, යුරෝපා හවුලේ රටවල් මෙන්ම ආසියා පැසිපික් කලාපයේ රටවල් මුදල් පොම්ප කරනවා. මුදල් පොම්ප කරන්නේ නැති, ආර්ථිකයට හයියක් දෙන්නේ නැති එකම රට ශ්‍රී ලංකාව බවට අද පත් වෙලා.
රුපියල් පන්දාහක මුදලක් ආවට ගියාට දුන්නහම ඒක ප්‍රමාණවත් කියලා ඒ ඇත්තෝ හිතනවා ඇති. සැලසුම් සහගත ආර්ථික සැලස්මක් අපි සතුව තියනවා. සෑම පවුලක් සඳහාම ලබා දීමට අදහස් කර ඇති රුපියල් 20,000 ක මුදල ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා යොමු කිරීමයි අපේ බලාපොරොත්තුව.යම් අයකුට මුදල් අතට ලැබුණු විට කළ හැකි දේවල් තුනක් තියනවා.එකක් පාරිභෝජනය. දෙවැන්න ඉතිරි කිරීම.තුන් වැන්න ආයෝජනය.මේ සියල්ල සිදු වූ විට වන්නේ රටේ ආර්ථිකය ඉහළ යාමයි.’’

Post a Comment

0 Comments