කොරෝනා ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය !



කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.
මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.

Post a Comment

0 Comments