සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් !




සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම්කෙරුණා. සහල් නිෂ්පාදනය හා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකදී ද විශේෂ අවදානය යොමුවුණා.
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම,  සහල් නිෂ්පාදනය,  ගබඩා කිරීම හා බෙදාහැරීම,  ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් කොවිඩ් 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා. දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය සහ තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
සුලු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත් මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශ තුළත් සහල් තොග බෙදා හැරීම කළ යුතු වනවා. එමෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් බෙදා හැරීම කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා,  වැඩබලන පොලිස්පති,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ. මේ වනවිට මෙට්‍රික්ටොන් මිලියන 3 කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබෙනවා. එයින් තුනෙන් දෙකක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතිනවා. ඒ හේතුවෙන් අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙනවා.
එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක්කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්යයේ නිරත මේ මොහොතේ දැඩි අවධානයක් හා ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙන්නේ. ඔසුසල,  පෞද්ගලික ඖෂධ සැල් මෙන්ම බැංකු සේවා තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනවා

Post a Comment

0 Comments