සුගතදාසයේ ඩෙංගු බෝ කල වරදට නඩු !




කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයාට (පාලක) මෙම 13 වන දින මාලිගාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී ඇත්තේ ඔවුන් ඉකුත් 25-28 යන දිනයන්හි නවාතැන් ගත් සුගතදාස හෝටලයේ  මදුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව අනාවරණ වුණා.
ඒ හේතුවෙන් මෙම ස්ථානය දැඩි පරීක්ෂාවකට ලක් කළ බව
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.

මෙම සිද්ධිය දැනගත් වහාම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ  කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (09) එහි නිරික්ෂණ චාරිකාවකට එක්ව තිබුණා.
සුගතදාස ක්‍රීඩාංගනයේ වත්මන් තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර, ඉතා ඉක්මණින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත්කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
මේ පරිශ්‍රය මැදින් ගලා යන  කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරි ඇළ  මාර්ගය සහ මෙම ක්‍රීඩා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට නගරසභාවේ සහයෝගය ද ලබාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

Post a Comment

0 Comments