කොන්දේසි කන්දක් මැදින් අපේක්ෂකත්වය සජිත්ට !



එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාදීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොන්දේසි කිහිපයක් පැනවීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

ඒ අතරින් ප‍්‍රධාන කොන්දේසිය වන්නේ විධායක ජනාධිපති ධූරය අනිවාර්යයෙන්ම මාස 06 ක් තුළ අහෝසි කළ යුතුයි යන්නයි. අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කළ යුතු බවට වූ කොන්දේසියක් ද ඒ අතරට අයත්.

පක්ෂ නායකයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් රැඳී සිටිය යුතු අතර සියලූ බලතල ද ඔහු සතුව තිබිය යුතු බවට වූ කොන්දේසියක්ද අයත් බවටයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යපාරය මෙහෙයවිය යුතු බවට වූ යෝජනාවක් ද අදාළ කොන්දේසි අතරට අයත්.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ කොන්දේසි 10 ක් පමණ මෙහිදී පක්ෂ නායකත්වය විසින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙත ඉදිරිපත් කරනු ඇති බවයි. කෙසේවෙතත් අදාළ කොන්දේසි පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ අද (25) දිනයේයි.

මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේවනවිට පවතින තත්ත්වය කෙසේදැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "පක්ෂයේ මතය ලෙස තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවස්ථාව සළසා දෙන අපේක්ෂකයෙක් ගෙන ආ යුතු බවයි. ඉතින් එහෙම කෙනෙකුට විතරයි අවස්ථාව දෙන්නේ කියන එකයි අපිට හිතෙන්නේ" යනුවෙනි

අදාළ කොන්දේසි සහ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ යෝජනාව හෙට (26) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද මන්තී‍්‍රවරයා සඳහන් කළා.

මේ අතර අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මේවනවිට ධනාත්මක ප‍්‍රතිචාර ලැබෙමින් ඇති බවයි. නව ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් නව ජවයකින් තරගය ආරම්භ වී ඇති බව ද එහි සඳහන්.

ඒ අනුව අප දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මේ වන විට පැවැති සාකච්ඡා අනුව සිය පාර්ශ්වයට පැවැති බහුතර දැන් අති බහුතරයක් වී ඇති බවයි

මේ අතර ‘‘සජිත් එනවා’’ නමින් නම් කර ඇති කලූතර දිස්ති‍්‍රක් රැළිය මතුගම මහජන කී‍්‍රඩාංගනයේදී අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Post a Comment

0 Comments