අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණය අද (09) තීරණය කළා.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මතයි.

පූජිත් ජයසුන්දර නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගැණුනේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටියදීයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අද (09) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණු අතර ඊට අනුව අද දිනයේ යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී මෙලෙස ඇප හිමිවුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝග මතයි.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනීමැරුම් චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැලකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදු කිරීම යන චෝදනාව පවත්වාගෙන යාමට සාධාරණ කරුණු නොමැති බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඇප මත මුදා හරින බවද නියම කළා.

කෙසේවෙතත් මෙම නිලධාරීන් විසින් රාජකාරී පැහැර හැරීමක් සිදුකර ඇතැයි  තමන්ට සහතික වී ඇති බවයි මහේස්ත‍්‍රාත්වරිය එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රාජකාරී පැහැර හැරීමේ චෝදනා හා මිනිමැරීම් චෝදනා එකිනෙකට පරස්පර බවද ඒ අනුව මෙම සැකකරුවන්ට මිනිමැරීම් චෝදනා එල්ල කළ නොහැකි බවද මහේස්ත‍්‍රාත්වරිය කියාසිටියා.

මේ අතර පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට චෝදනා ගොණුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ විමර්ශන කමිටුවක වාර්තාවක් සැලකිල්ලට ගනිමින් බවද කෙසේවෙතත් එම කමිටුව පාර්ලිමේන්තු පනතකින් පිහිට වූවක් නොවන බවද මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කියාසිටියා.

ඒ අනුව එම විමර්ශන කමිටුවේ නිර්දේශ ඒ ආකාරයෙන්ම පිළිගැනීමට අධිකරණය බැදී නොමැති බවයි ඇය ප්‍රකාශ කළේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අලූතින් අපරාධ පරීක්‍ෂණයක් සිදුකර අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණයේදී ප්‍රකාශ කළා.

0 comments

Post a Comment

Trending

facebook