රවුෆ් හකීම්ගේ නිවසේ තිබූ ලක්ෂ හැටක් හොරු උස්සයි !







කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි අමාත්‍ය රාවුෆ් හකීම්ගේ නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.

පසුගිය ජූනි 10 දා තම සැමියා වන රාවුෆ් හකීම් විසින් විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ විසින් පොලිසියට  පැමිණිලි කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරන අතර  එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු  බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් බවයි පොලිසිය පවසන්නේ.

එසේම එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වන අතර පසුගිය 25 වැනිදා නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇති බවත් සඳහන්.

නැවත දින තුනකට පසුවද වැසිකිළිය උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්.

නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන බවද පොලිසිය සඳහන් කළා.

Post a Comment

0 Comments