හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳවන කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නමැති කාන්තාවට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැරවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර  ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් මෙම ගිණුම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පදිංචි කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයිෂා නමැති කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුමකට පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක් පත් මගින් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැර කර ඇති බවත්, එම මුදල් අවස්ථා කිහිපයකදී සැකකටයුතු ලෙස ලබාගෙන ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එසේම ඇය ඉදිකිරීම් සමාගම් 3 ක අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කරන බවටද අධිකරණයට තොරතුරු වාර්තා කර තිබෙනවා.

මීට අමතරව ඇයගේ ජාතික හැඳුනුම්පතට අදාළව විදෙස් ගමන් බලපත්‍ර දෙකක් නිකුත් වී ඇති බවත් ඉන් එක් බලපත්‍රයක් කොළඹ හත සහ අනෙක් ගමන් බලපත්‍රය පුත්තලමෙ, තිල්ලඩිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහා නිකුත් කර ඇති බවත් එම කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

0 comments

Post a Comment

Trending

facebook