නුවර අංගසම්පූර්ණ රෝහල විවෘත කරමින් මෛත්‍රී කියූ දේ මෙන්න !




තවත් මාස 05කින් මෙරට ජනතාවට අලුත් ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව හිමිවන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනතාවට නව ආණ්ඩුවක් සෑදීමට හිමිවන අවස්ථාවේදී පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාස වලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබෙනවා.

මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද මින් අපේක්ෂා කෙරේ.

සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා.

රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කිරීම සිදුකෙරුණේ ද ජනාධිපතිතුමාගේ අතිනි.

Post a Comment

0 Comments