Popular Posts





මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් ගෙන ඇති තීරණයට එරෙහි වන්නන්ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (01) ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

ඒ අදාළ පාර්ශ්ව මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ගෙන ඇති පියවර කුමක්ද යන්නයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ එක්වෙමින්.

මරණීය දණ්ඩනය පිළිබඳ තීන්දුව ලබා දෙන්නේ තමන් නොව අධිකරණයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඊයේ අවසන් වුණා. ඉකුත් 26 වැනිදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීවයි මෙම සතිය ප්‍රකාශයට පත් කෙරුණේ.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ සකස් කළ ජාතික සමීක්ෂණ වාර්තාවක් ද අද ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

0 comments

Post a Comment

Trending

facebook