වරායේ තිබී තවත් කසළ කන්ටේනර් 21 සොයාගනී !



එංගලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ තවත් කසළ කන්ටේනර් 21ක් කොළඹ වරායේ තිබිය දී රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකය මගින් ඉකුත් සිකුරාදා (19) සොයාගෙන තිබෙනවා.

2017 වසරේ දී පමණ මෙරටට ගෙන්වා ඇති කසළ කන්ටේනර් 102ක් වරායේ අංගන 02ක තිබිය දී රේගුව මගින් ඉකුත් දා පළමු වරට සොයාගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් පසුව මෙම කන්ටේනර් 21 සොයා ගැනීමට හැකි වූ බව රේගුව පවසනවා.

කසළ කන්ටේනර් 225කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයට මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක සඳහන් කර සිටියා.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති මෙම කසළ මෙරට පරිසරයට මුදාහැරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියා.

මෙම කසළ කන්ටේනර් මෙරටට ගෙන්වීමට ඉඩකඩ සකස් කළ 2013 වසරේ දී නිකුත් කළ අංක 1818/30 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.


Post a Comment

0 Comments