පුද්ගලයන් 250කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් විසින් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය සත්‍ය වසන් කරමින් සිටින බවයි.
කාදිනල් හිමියන් ඒ බව සඳහන් කළේ වතිකානුවෙදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමට පැය කිහිපයකට පෙර අප්‍රේල් 21 වන දින පල්ලි 03කට සහ හෝටල් 04කට එල්ල කළ ප්‍රහාරයේ රූපමය වීඩියෝවක් පෙන්වමිනුයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, ශ්‍රී ලංකා රජයට මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් නොමැති බවයි.
“දැන් ඔවුන් සියලු වර්ගවල කමිටු සහ කොමිෂන් සභා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර මතගැටුම් ඇතිකරගනිමින් සිටිනවා. ”
කාදිනල් හිමියන් පැවසුවේ ඉන්දීය බුද්ධි අංශ විසින් අප්‍රේල් 04 වන දින එළඹෙන ප‍්‍රහාරයක් පිළිබඳව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවත් ඊට අනතුරුවත් 03න් වතාවක් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.
පසුව පිපිරුම සිදු වූ දින එනම් අප්‍රේල් 21 වනදා උදෑසන 6: 45ට දුරකථන ඇමතුමක් ද ලබා දී ඇති බවත් කාදිනල් හිමියන් සඳහන් කර සිටියා.
“නමුත් කිසිවෙකු බැරෑරුම් ලෙස මේ ගැන සැලකුවේ නැහැ. මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණා. මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව මා දැන සිටියා නම් මම සියලුම පල්ලි වසා දමා ජනතාවට ගෙදර යන්න කියනවා. ” ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් කියා සිටියා.
“සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ අනෙක් අයට දොස් පැවරීමටයි. රජය කරුණු සැඟවීමට උත්සාහයක් දරනවා.”
රජය පැත්තෙන් සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු විවිධ ආයතනවල මේ සම්බන්ධයෙන් පූර්ණ උනන්දුවක් නොමැති බවයි කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසන්නේ.
කාදිනල් හිමියන් විසින් 2015 දී ශ්‍රී ලංකාවට පැමිණ ගිය පාප්තුමාට පෙන්වීම සදහා සූදානම් කරගෙන ගිය වීඩියෝවෙන් දැක්වෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බැක්පැක් සමඟ කතෝලික පල්ලි වෙත ළඟාවන අයුරු, මළ සිරුරු, ජේසුස් වහන්සේගේ ලේ විසිරුණු පිළිම සහ සමූහ සුසාන භූමිවල දර්ශනයි.
කිතුනුවන්ට සුළුතරයක් සිටින රටවල් සඳහා ආධාර කරන කතෝලික පුණ්‍යායතනයක් වන ”Aid to the Church in Need” වෙත පල්ලි වල අවශ්‍යතා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් කාදිනල්තුමා මේ සම්බන්ධයෙන් පවසනු ලැබුවා.
70% ක් පමණ බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාවේ හින්දු ආගමිකයින් 13%ක් ද, 10% ක මුස්ලිම් ජනකායක් ද 07%ක කතෝලික ප්‍රජාවක් ද වාසය කරනවා.

0 comments

Post a Comment

Trending

facebook