Popular Posts









‘සල් සපු නා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරි චරිතය රඟපාමින් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. ඇය, ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘එමී‘ ටෙලි නාට්‍යයේ එමීගේ චරිතය නිරූපණය කරමින් සිටින්නීය.

ඔබට රංගනයට එන්න මඟ පෑදෙන්නෙ කොහොමද?

මම මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ කළේ. ජපන් භාෂාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයයන් මම උ.පෙළට හැදෑරුවා. උ.පෙළ කරලා, අනෝජා වීරසිංහ මහත්මියගෙ අභින රංගන ඇකඩමියට තමයි මම මුලින්ම රංගනය ඉගෙන ගන්න ගියේ. ඇය ඇසුරේ මම රංගනය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම දමයන්ති ෆොන්සේකා මිස්ගෙන් රංගනය ඉගෙන ගත්තා.

චරිතයක් කරද්දි අපි නෙමෙයි එම චරිතයේ ඉන්නෙ. චරිතයක් නිරූපණයෙදි අපි අපෙන් මිදිලා චරිතයට අනුගත වෙන්නෙ කොහොමද කියලා, ඇය අපට කියලා දුන්නා. එයින් පසුව, රන්දික විමලසූරිය මහත්මියගේ අභින රංග ආර්ට් සෙන්ටර් එකෙන් මම නැවතත් රංගන කලාව හදාරන්න ගියා. එතැනදි මට, ඉන්දියාවෙන් වසර හතරකට වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දිය නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන උජ්වාල් සිංහා කියන ගුරුවරයාගෙන් ඉන්දීය සිනමාව ගැන ඉගෙන ගන්න හැකි වුණා.

රංගනයට ඒමට, මේ වගේ අධ්‍යයනයක් තිබිය යුතුයි කියලා ඔබ හිතන්නෙ කුමන කාරණා මුල් කරගෙනද?

රංගන ශිල්පිනියක් වෙන එක මගේ කුඩා අවධියේ පටන් තිබුණු හීනයක්. අපි හැම කෙනෙක්ටම හීන තියෙනවනෙ. ඒ නිසා ම අපි ඒ හීනයට ළං වෙන්න කැපවීම් කරනවනෙ. ඒ නිසා තමයි මම උ.පෙළ විභාගයෙන් පස්සෙ අවුරුද්දක් දෙකක් රංගනය හදාරලා, මට ඒ අවස්ථාව ලැබෙනකම් හිටියෙ. දැන් මම වෘත්තීය නිළියක්. මගේ අරමුණ රංගනයෙන් ඉදිරියට යෑම සහ හැකිතාක් සමාජයට ආදර්ශයක් දියහැකි චරිත රඟපෑමයි.

ආරම්භයේ දී ම රංගනයට වුවමනා මූලික දැනුවත් භාවය ගොඩනගා ගත් ඔබට, රංගන වරම් හිමි වෙන්නෙ කොහොමද?

ඔය විදිහට රංගනය ගැන හදාරමින් ඉන්න කාලයේ, ඒ කියන්නෙ 2016 වර්ෂයේ දී, සුසිල ආයතනයෙන් නළු නිළියන් තෝර ගන්න තිර පරීක්ෂණයක් පවත්වනවා කියලා මට දැනගන්න ලැබුණා. මමත් ඒ තිර පරික්ෂණයට ගියා. එදා මට තිර පරික්ෂණය දහයකට විතර ඉදරිපත් වෙන්න වුණා. එතැනදිත් රංගන වැඩමුළු කිහිපයකට සහභාගි වුණා. එහි දී, සුරංග සෙනෙවිරත්ත මහත්මයා තමයි කැමරාවක් ඉදිරියේ තාත්විකව රඟපාන්නෙ කොහොමද කියලා මට පළමුවෙන්ම කියා දුන්නෙ. ඒ හැම දෙයකින්ම පසුව මට මගේ පළමු රංගන අවස්ථාව හිමි වුණා. ඒ, ‘සල් සපු නා‘ ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරි චරිතය.

පොඩි පත්තරකාරියගෙන් පසුව?

ඊට පස්සෙ ‘බෝධි‘, ‘තුත්තිරි‘, ‘දංකුඩ බණ්ඩා‘ යන නිර්මාණවල පුංචි චරිත රඟපෑවා. ඔය අතරේ තමයි සුනිල් කොස්තා මහත්මයගේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන අයෝමාගේ චරිතයට මා තෝරා ගත්තෙ. ඒ නිර්මාණය මේ දිනවල ජාතික රූපවාහිනියෙ විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍ය රූගත කළේ, මීට අවුරුද්දකට පෙරදීයි. මේ වෙද්දී, මේ නිර්මාණයේ ඉතිරි කොටස්, බකමූණ ප්‍රදේශයේ රූගත කරමින් ඉන්නවා.

‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ඔබට සුවිශේෂී වරමක් වුණා නේද?

ඔව් . මට ඕන වුණේ, මගේ රංගනයේ සියුම් බව පෙන්විය හැකි අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්නයි. සුනිල් කොස්තා මහත්මයා ටෙලි නාට්‍යයක් කරන්න යනවා කියලා, වාසනාවකට මට දැන ගන්න ලැබුණා. ඔහු සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් කියලා මම දැනගෙන හිටියා. මට මේ චරිතය ලබාදීම ගැන, සුනිල් මහත්මයට මම බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා. අයෝමාගේ චරිතයට මා තෝර ගන්න පෙර, ශ්‍රි ලංකා ජනමාධ්‍ය පදනමේදි අපි, උදේ ඉඳන් හවස් වෙනකම් එක එක විධිහේ තිර පරීක්ෂණවලට මුහුණ දුන්නා. සුනිල් මහත්මයා කවදාවත් හැඳුනුම්කමට චරිත දුන්නෙ නැහැ . ඔහුට ඔහුගේ නිර්මාණයට ගැළපෙනම විදිහේ කෙනා අවශ්‍ය වුණා . අප තිර පරීක්ෂණ ගණනාවකට ලක් කරලා, “දුව මම ඔයාව මේ ටෙලි නාට්‍යයේ අයෝමා කියන චරිතයට තෝර ගත්තා“ කියලා පස්සෙ මට පැවසුවා. අයෝමා කියන්නෙ මෙහි එක් ප්‍රධාන චරිතයක් . මම දුවගේ චරිතය කරන්නෙ. උමයංගනා වික්‍රමසිංහ අක්කා, මගෙ අම්මගේ චරිතය රඟපානවා.

අද වනවිට හැමෝගෙම අවධානයට ලක්වෙලා තියෙන අයෝමගෙ චරිතය, ඔබට රඟපෑමට පහසු අත්දැකීමක් වුණාද?

මේ නාට්‍යයේ පිටපත ඉතා ම ප්‍රබලයි. ඒ කියන්නෙ, මිනිසුන්ගේ හැඟීම් පෙන්වන සියුම් තැන් ගොඩක් මේ නිර්මාණය පුරාම තියෙනවා. මේ නිර්මාණය තත්කාලීන සමාජයේ ප්‍රශ්න එක්ක බැදි තියෙන නිසා, මිනිසුන් මේ නිර්මාණය ග්‍රහණය කර ගන්නවා වැඩියි. තම කුසේදීම දරුවා හැරදමා යන පියා, පසු කලෙක මව සහ දියණිය සොයා යන ගමනෙදි, මවට සහ දියණියට මුහුණ දෙන්න වෙන පීඩා ගැනයි මෙයින් කියැවෙන්නෙ. මේ චරිතය මට විශාල භාග්‍යයක්. චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, උමයංගනා වික්‍රමසිංහ, ආනන්ද කුමාර, නිරෝෂණ විජේසිංහ වගේ සම්මානලාභී රංගන ශිල්පීන් සමඟ, මගේ ආරම්භයේදීම මට රඟපාන්න ලැබීම, විශේෂ අවස්ථාවක්. චාන්දනී, උමයංගනා අක්කලා මට අම්මලා දෙන්නෙක් වගේ රංගනය ගැන කියලා දුන්නා. මේ නිසා, මේ නාට්‍ය මට තවත් රංගන පාසලක්.

ඔබ අයෝමා පමණක් නෙමෙයි, එමී ලෙසත් මේ දිනවල රඟපානවා නේද?

ඔව්. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ විකාශනය වන කාලයෙම, එමී කියලා මම රඟපාන තවත් ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙනවා. එහි අධ්‍යක්ෂවරයා සංජය නිර්මාල්. මම ඒකේ කරන්නෙ ප්‍රධාන චරිතය. මම තමයි එමී . ඒක මනෝවිද්‍යාත්මක පදනමක් සහිත නිර්මාණයක්. දරුවන්ට වගේ ම, වැඩිහිටියන්ට, ජීවිතයේ සෘණාත්මක දේට මුහුණ දෙන්න වුණහම, ඒවා පිටුදැකලා, ධනාත්මක පැත්තට ජීවිත යොමු කර ගන්නෙ කොහොමද කියලා තමයි, එමී මඟින් කතා කරන්නෙ.

ආරම්භයේ දී ම හොඳ ප්‍රවේශයක් ලබා ගන්නා ඔබට, රංගන ක්ෂේත්‍රය පිළිබඳ හැඟෙන දේ පිළිබඳව කතා කළොත්?

මෙය හොඳ ක්ෂේත්‍රයක්. අපි කරන චරිත, අපට ක්ෂේත්‍රයේ රැඳී සිටීමට බලපානවා. අපි හොඳ චරිත කළොත්, මිනිස්සු ඒ චරිත වැළඳ ගන්නවා . එහෙම වුණහම, ශ්‍රී ලංකාවෙ කොතැනකට ගියත්, අපට ආදරය කරන, අප කරන චරිත අගය කරන පිරිසක් අපට ඉන්නවා. ඔවුන් අප අගය කරමින් කතා කරනවා. ඒක කියන්න බැරි තරම් තෘප්තිමත් හැඟීමක්. මගේ රංගන දිවිය ආරම්භයේම මට ලැබුණු ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ ටෙලි නාට්‍යයේ අයෝමගෙ චරිතය, මගේ රංගන දිවියේ ලොකු වෙනසක් කළා. ඒක මගේ දිවියේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරැදියි . මගේ රංගනය හොඳයි කියලා මිනිස්සු කතා කරන්න පටන් ගත්තෙ මේ නිර්මාණය හරහායි.

රංගනය හැරුණහම, ඔබගෙ දිවියේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

රංගනයෙ නිරත වන අතරෙම, මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා . මේ වනවිට මම තොරතුරු තාක්ෂණ විෂයෙන් බාහිර උපාධිය කරගෙන යනවා. ඒ අතරම, මනෝවිද්‍යා ඩිප්ලෝමාවක් කරනවා සහ රජරට විශ්වවිද්‍යාලයේ මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ පාඨමාලාවක් හදාරනවා. ඒ වගේ ම ඔවුන්ගෙ ව්‍යාපෘතිවලට සහභාගි වෙනවා. මේ හැම දෙයකින් ම මම අපේක්ෂා කරන්නෙ, මගේ දැනුම ඉහළ තලයකට ගෙන යෑමටයි. අනෙක් කාරණය, මට මගේ සමාජ සේවා වැඩවලදි, මේ වගේ කටයුතු, මට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. දරුවන් එක්ක සමාජ සේවා කටයුතු කරන්න, මේ දැනුම ලොකු පිටිවහලක්.

ඔබ සමාජ සේවා කටයුතු සඳහා යොමු වෙන්නෙ, රංගනයෙන් ලද ජනප්‍රියත්වය හරහාද?

මම පොඩි කාලෙ ඉඳන් මට පුළුවන් විදිහට සමාජ සේවා කටයුතු කරගෙන ගියා. ඒ කටයුතු, මේ ක්ෂේත්‍රයට ආවට පස්සෙ පටන් ගත්ත ඒවා නෙමෙයි. ඒත් මම රංගනයට ආවට පස්සෙ, එයින් ලැබෙන ප්‍රසිද්ධිය, සමාජ සේවා කටයුතුවලට යොදවා ගන්න පුළුවන් කියලා අවබෝධ කර ගත්තා.

පසුගිය කාලයේ ඔබ සුපිරි හෝටලයක කුඩා දරුවන් සමඟ පැවැත්වූ සාදයක්, සමාජ සේවා කටයුත්තක් කියලා ප්‍රසිද්ධ වුණා. එය සත්‍යයක්ද?

මම ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන් ම, ඉගැන්වීම් කටයුතු කරන ළමා නිවාසයක් තියෙනවා. ඒ ළමා නිවාසයේ දරුවන් එක්ක මම ඉතා සුහදව, මිත්‍රශීලීවයි ගත කරන්නෙ. මම කලා ක්ෂේත්‍රයෙ ඉන්න නිසා, මම කරන නිර්මාණ, යන එන තැන් ගැන දැන ගන්න, ඒ දරුවන් තුළ දැඩි උනන්දුවක් තියෙනවා.එක දවසක මම සුපිරි හෝටලයක උත්සවයකට සහභාගි වෙලා ගත්ත ඡායාරූපයක් දැකලා, එක දරුවෙක් මගෙන් ඒ ගැන විමසන්න පටන් ගත්තා. කොහෙද මේ හෝටලය තියෙන්නෙ? ඇයි මෙච්චර ලයිට් දාලා තියෙන්නෙ? මෙතැන කෑම ගොඩක් තියෙනවද? වැඩියෙන් කෑවොත් බණිනවද? මෙතැන කෑම කන්න කොච්චර මිලක් අය කරනවද? වගේ ප්‍රශ්න තමයි ඒ දරුවා මගෙන් ඇහුවෙ. අපට නම් කවදාවත් මේ වගේ තැනකට යන්න බැරිවෙයි නේද? කියලා අන්තිමට ඒ දරුවා කිව්වා. ඒ දරුවො, තමන් ජීවත් වෙන ළමා නිවාසයෙන් එළියට ගිහින් ම නැහැ. එයාලා කොළඹ දැකලවත් නැහැ. මේ දරුවන්ට මට පුළුවන් විදිහට කොහේට හරි එක්ක යනවා කියලා, මම එදා හිතා ගත්තා. මගේ විසි එක් වැනි උපන් දිනය තමයි උදාවෙන්න තිබුණෙ. මම අවුරුද්දක් විතර සල්ලි එකතු කරගෙන, මගේ විසි එක්වැනි උපන් දිනය දා මේ දරුවන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට කෑමකට එක්කගෙන ගියා. ඒක දානයක් නෙමෙයි. ඒ දරුවන් වෙනුවෙන් පවත්වපු සංග්‍රහක්. එයාලා දකින්න කැමැති වුණ කලාකරුවන් පිරිසකුත් මම එතැනට කැඳවා ගත්තා. මට එතැනදි ඕන වුණේ, අපි හැමෝම සමානයි කියලා ඒ දරුවන්ට අවබෝධ කරවන්නයි. ඊට පස්සෙ ඒ කටයුතු දිගු කාලීනව කරන්න ඕන කියලා මම හිතුවා. නැවතත් මම මගේ විසි දෙවැනි උපන් දිනයෙදි දිවුලපිටිය ශ්‍රි ප්‍රියදර්ශනාරාමයෙදි මගේ වයසේ අය එකතු කරගෙන, පවුල් 250 කට හාල් කිලො 1450 ක් බෙදා දුන්නා.

මේ සඳහා ඔබ වැය කරන්නෙ, ඔබගේ පුද්ගලික ධනයද?

“මම මෙහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා, කැමැති අය මේ සඳහා සම්බන්ධ වෙන්න කියලා,” සමාජ මාධ්‍යයේ මම පෝස්ට් එකක් දැම්මා. ඒකට එන අය හාල් කිලෝ එක ගානෙ අරගෙන එන්න කියලත් මම දැන්නුවා. එතැනදි මට හිතාගන්න බැරි වුණා. ළමයි දාහකට වඩා ඇවිත් හිටියා. ඒ හැමෝම හාල් කිලෝ පහ, දහය අරන් ආවා. ඒකට මමත් යම් ප්‍රමාණයකින් මුදලින් දායක වුණා. ඔය විදිහට මම කරපු සමාජ සේවා වැඩ බොහොමයක් ම තියෙනවා. හැබැයි මම ඒ ගැන මාධ්‍යයට නම්, කියලා නැහැ.

ධම්මිකා සුරංජි පති­රණ

0 comments

Post a Comment

Trending

facebook