2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන සිව්වැනි තරගය අද පැවැත්වේ.

තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගිනි.

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර එම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 137 කින් පරාජයට පත්විය.

1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 45ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 36ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වන විට බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 7කි.

තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබේ.

පසුගිය ලෝක කුසලාන තරගාවලි 11 තුළ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3ක් පවත්වා තිබෙන අතර එහි තරග 3ම ශ්‍රී ලංකාව ජයගෙන තිබීම විශේෂත්වයකි.

පුහුණුවීම් අතරතුර අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට ජීවන් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ සහභාගි වූ පළමු තරගය නවසීලන්තය හමුවේ පරාජයට පත් වූ අතර දෙවන තරගයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

තෙවන තරගය පකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට පියවර ගැනිණි.

බංගලාදේශය මෙවර තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 ට බ්‍රිස්ටල් හි කවුන්ටි ග්‍රවුන්ඩ්හිදී ආරම්භවීමට නියමිත ය.

කෙසේ වෙතත් විදෙස් කාලගුණ අනාවැකි සඳහන් කරන්නේ අද දිනයේදීත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ඉඩක් පවතින බව ය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බ්‍රිස්ටල් පිටියේ මේ දක්වා කිසිදු එක්දින තරගයක් පවත්වා නොමැත.

0 comments

Post a Comment

Trending

facebook