Popular Posts















දුලානි අනුරාධා කියන්නේ සිනමාව හා පුංචි තිරයේ ඉදහිට දකින්න ලැබෙන චරිතයක්. නිර්මාණාත්මක චරිත ඔස්සේ දකින්න ලැබෙන දුලානි කේන්දර ගැන බොහෝ සැලකිලිමත් වෙනවා කියලා ඇය කියනවා. මේ ඇය ගැනයි


කේන්දරේ ගැන මොකද හිතෙන්නේ?

කෙනෙකුට කේන්දරයක් තිබුණට වැරැද්දක් නැහැ. ඒ මත්තෙම ඇලිල ගැලිල ඉන්න ඕනෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන් අයින් කරල හිතුමතේ වැඩ කරන්නෙ නැතුව යම් සීමාවක් ඇතිව ප්‍රයෝජනයට අරන් තමන් යන ගමන ගියාම ඉවරයි. මොකද කේන්දරේට අනුවත් කේන්දරේට පිටිනුත් අපිට එදිනෙදා අපේ ජීවිතය හා සම්බන්ධ දේවල් කරන්න වෙනවා.

අපල කාල ගැන විශ්වාස කරවාද?

විශ්වාසයක් නැත්තෙමත් නැහැ. මොකද පහුගිය කාලෙ මට අපලයි කියල මම කේන්දරේ බලවපු තැනෙකින් කිව්වා. හැබැයි මම ඒක එච්චර හිතට ගත්තෙ නෑ. අහගෙන ආවට දවසක් දෙකක් යනකොට මට ඒ කියපු දේවල් අමතක වෙනව. මම ආබාධයකට ලක්වුණාට පස්සෙ තමයි ආපහු මතක් වුණේ අරය මෙහෙම කිව්වනේ කියලා. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මාරුවෙන් මාරුවට අපට ගෙවන්න වෙන අයහපත් කාලෙ අපල කාල තමයි ඉතින්.

නැකැත් අනුගමනය කරනවද?

අපේ ගෙදර හරිම අඩුවෙන් තමයි නැකැත් අනුගමනය කරන්නේ. සිංහල අලූත් අවුරුදු නැකැත් වුණත් පසුගිය වසර ගණනක ඉඳල අනුගමනය කළේ නෑ. විශේෂයෙන්ම මගේ අයිය පිටරට ගියත් එක්කම මමත් ඒ දවසෙ මොකක් හරි වැඩක. ඉතින් අපි දෙන්නම ඒ දවසට ගෙදර නැති වුණාම අම්මල ඒ චාරිත්‍ර නැකැත් අනුගමනය කරන්න මැලි වෙනව. ඒත් මේ අවුරුද්දෙ මුලදිම මට හිතුණා මෙදා සැරේ අවුරුදු නැකැත් චාරිත්‍ර අනුගමනය කරන්න ඕන කියල. ඒක ඒ විදියටම කරනවා.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය?

ලොකු විශ්වාසයක් තියෙනව. විශේෂයෙන්ම පසුගිය කාලෙ මම මුහුණ දීපු කකුලෙ ආබාධයත් එක්ක. මට එක තැනකට වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ වෙලාවල්වලදී මම ගොඩක් ධර්ම දේශනාවලට සවන් දෙමින් කටයුතු කළා. ඒවෙලාවේ හොඳින් අවබෝධ වුණා මේ ධර්මය කොච්චර උතුම්ද ඒ තුළින් අපේ සිතට කොච්චර සැනසීමක් ඇති වෙනවද කියල. කොහාමටත් පුළුවන් වෙච්ච වෙලාවට බුදුන් වැඳල දෙවියන්ට පිං අනුමෝදන් කරන එක මගේ සිරිතක්.

පුද පූජා ශාන්තිකර්මලට දෙන තැන?

කාගෙන් හරි දැන ගත්තොත් අහවල් තැන සාර්ථකව එවැනි කටයුතු කරල යහපත් ප්‍රතිඵල ලබා දෙනව කියල ඇත්තටම කැමැත්තක් ඇතිවෙනව ගිහින් බලන්න. එහෙම ගිහිල්ල ඒ දේ සාධාරණ නෑ කියල මට තේරුණොත් මම ඒ වැඩලට යොමුවෙන්නෙ නෑ. හරි දෙයක් වෙනව නම් ඒ දේවල්වලට යොමු වෙන්න මගේ හිත ඇතුළෙ කැමැත්තක් තියෙනව. අම්ම මම වෙනුවෙන් හදවල යන්තර දාපු අවස්ථා පවා තියෙනවා. හැබැයි ඉතින් මාසයයි දෙකයි. මම දන්නෙ නෑ යන්තරේට මොකද වුණේ කියල.

කේන්දරේ විශේෂයෙන් සඳහන් වූ කාරණා?

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහලින්ම ඉන්න කෙනෙක් කියලත් ජනතාව අතරට යන කතාබහට ලක්වෙන චරිතයක් වගේම මගේ විවාහය ප්‍රමාද වෙන බව තමයි විශේෂ කාරණා ලෙස මගේ කේන්දරේ මෙතෙක් කියැවුණේ.

නිළියක් වන බව එයින් කියැවුණේ නැද්ද?

නෑ. රංගන ශිල්පිනියක් වෙනවමයි කියල කියැවුණේ නෑ. කතාබහට ලක්වෙන චරිතයක් වෙනව කියල තමයි කියැවුණේ. මම හිතන්නේ ගුරුවරියක් පමණක් වෙලා හිටිය නම් මා ගැන කතා කරන්නේ නෑනෙ කවුරුත්. රංගනය නිසා තමයි කතාබහට ලක්වෙන්නේ. එහි සත්‍යයක් තියෙනවා.

කවදහරි විවාහ වෙන්නෙ කේන්දර ගලපල නැකැත්වලට අනුවද?

හඳහන් ගලපන්න ඕන කියල මගේ පොඩි විශ්වාසයක් තියෙනව සහ මට එහෙම දැනිල තියෙනව. කේන්දරේ ගැලපෙනව නම් අදහස් ගැලපෙනව කියන එක ගැනත් මට විශ්වාසයි. සමහරු කියනව අපි බැන්දෙ ඕව බලල නෙමෙයි කියල. ඒත් ඒ අයගෙ කේන්දර අරන් බැලූවම යම්කිසි ගැලපීමක් තියෙනව.

රාහු කාලයට බයද?

මම අහල තියෙනව බොහෝ දෙනෙක් ඔය කියන රාහු කාලය ගැන සැලකිලිමත් කියල. ඒක යෙදෙන්නෙ අද කීයටද හෙට කීයටද කියල මම දන්නෙ නෑ. ඒ නිසා ඉතින් නොදන්න දෙයක් ගැන මට බයක් ඇති වෙන්නෙත් නැහැ.

සඳහන් වුණ විශේෂ යෝග?

ලැබීම් පැත්තෙන් වාසනාව තියෙන විශේෂය යෝගයක් තියෙන බවත් ගෙවල් දොරවල් යාන වාහන ඇතුළු සියලූ දේ මම ම සපය ගන්න බව කියැවුණා. ඒ දේවල් ඇත්තටම හරි.

සඳහන් වුණ අසුබ කාරණා?

කාලෙන් කාලෙට එක එක කාරණා කියැවිලා තියෙනවා. හැබැයි ඒ එකක්වත් බොරුවෙලා නැහැ. පහුගිය කාලෙ ආබාධයට ලක්වෙන බව පවා කේන්දරේට අනුව කියැවුණා.

ලග්නය?

කන්‍යා

අවුරුද්දට කී වතාවක් කේන්දරේ බලවනවද?

එහෙම අනිවාර්යයෙන් මේ දවස්වල කේන්දර බලවනව. කියන තැන මම නැහැ. කවුරු හරි කිව්වොත් මම අහවල් තැනට ගියා හරියට කියවුණා කියල මම හරිම උනන්දුවෙන් ඒ තැනට යනවා. හැබැයි වැඩිය රස්තියාදු වෙන්න කැමැති නෑ. මට ෆී‍්‍ර නම් ටක් ගාල ගිහිල්ල කියනදේ අහගෙන එන්න කැමැතියි.













0 comments

Post a Comment

Trending

facebook