කටුනායක ගුවන් තොටේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබා ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වී තිබේ. ඒ මහතා ෆේස්බුක් පිටුවේ තැබූ සම්පූර්ණ සටහන මෙසේය. “මහ සෑයට යන පාරෙන් ලංකාවට ආවෙමි. ගුවන් තොටුපොල රටට ඇතුලුවන දොරටුවයි. ඒ දොරටුව ලස්සනට තිබිය යුතුයි. රටට පැමිණෙන විදේශිකයෙකුට ගුවන් තොටුපොල දෙස බලා රට ගැන බොහෝ තීරණ ගත හැකිය. රටෙහි සංවර්ධනයෙහි ප්‍රමාණය, නීතිය ක්‍රියාත්මක වීමෙහි ප්‍රභලතාවය, රජය රට වැසියන්ට සලකන ප්‍රමාණය, රටෙහි පුරවැසියන්ගේ විනය ගරුක භාවය, හැදියාවා සියල්ල ගැන පලමුවෙන් පූර්වානුමිතියකට පැමිණෙන්නේ ගුවන් තොටුපොලෙහිදීය.

කටුනායක ගුවන් තොටුපොලෙහි මේ කාරණා සම්බන්ධයෙන් සුබවාදීව සිතන්නට විදේශිකයෙකු පෙලඹවීමක් කරන්නට සමත් ක්‍රියාවලියක් ඇත්දැයි බලමු. ලෝකයෙහි ඕනෑම ගුවන් තොටුපොලක තම රටෙහි මිනිසුන් වෙනුවෙන් වෙන් කර ඇති ආගමන විගමන කවුන්ටර පෙලක් ඇත. අපට වඩා කුඩා කත්මන්දු ගුවන් තොටෙහිද එය එය එසේමය. විදේශිකයනට වෙනම කවුන්ටර ඇත. ඒ තුල රටට ඇතුලුවන හෝ රටෙන් පිටවන තම රට වැසියාට යම් පහසුවක් ඇති කිරීම බලාපොරොත්තු වේ.අප රටෙහි රටෙන් පිටවන් හෝ රටට ඇතුලුවන සියලු දෙනා එකම පෝලිමෙහි සිට තම කාර්‍ය කර ගත යුතුය. දිනක් මා සමග සිටි විදේශිකයෙකු මාගෙන් ලාංකිකයන්ට වෙනම කවුන්ටර නැති හේතුව විමසා සිටියේය. මා ඔහුට කීවේ මේවා පාලණය කරන පුද්ගලයන් රටෙන් පිටතට ගොස් නැති නිසා එවැනි දේ ගැන නොදන්නා බවයි. මෙවැනි කවුන්ටර පෙලක් කටුනායක ඇති කරන්නට නොහැකි හේතුව වෙන දෙයක් නොව වගකිව යුත්තන්ගේ හිතන්නට ඇති කම්මැලි කම පමණකි. ඊට පසු ලංකාව ගැන ගුවන් තොටෙහිදීම හොඳටම අවබෝධයක් ලබා ගත හැකි ස්ථානය තීරු බදු රහිත සාප්පු පෙලයි. කතරගම හෝ රුවන් වැලි සෑයට යද්දී දකින මල් විකුණන ලියන් හා සමානව තමන්ගෙන් බඩු අර ගන්නටයැයි කියමින් කෑ ගසන යාචකයන් පිරිසක් එහි ඇත.

ඇත්තටම පැමිණීමේ පර්‍යන්තයෙහි ඩියුටි ෆ්‍රී සාප්පුව ඉලෙක්ට්‍රික් බඩු කඩයක් වැනිය. ආගමන විගමන කවුන්ටරයෙන් එලියට එන ඕනෑ කෙනෙක් පලමුව දකින්නේ ඔහුගේ වම් පසින් ඇති රෙදි සෝදන යන්ත්‍ර පෙලකි. තමන්ගේ දකුණු පසින් පෙනෙන්නේ විවිධ ප්‍රමාණයේ ශීතකරණයන්‍ ය. මේවා මෙතැන තබාගෙන විකිණීම සම්බන්ධයෙන් ඉතාම මානවවාදී පැහැදිලි කිරීමක් කෙනෙකුට කල හැකිය. එය නම් මැද පෙරදිග දුක් විඳ ලංකාවට පැමිණෙන අම්මලා, අක්කලා , නංගිලා වෙනුවෙන් එලෙස ඒ ආකරයෙන් එවැනි බඩු ප්‍රදර්ශනයට තබා තිබෙන බවයි.ලංකාව මෙන්ම විදේශ විනිමයෙන් ජීවත් වන රටවල් බොහෝ ප්‍රමාණයක් මේ කලාපයෙහි ඇත. එහෙත් ඒ රටවල මේ ආකරයට බඩු විකුණන ඩියුටි ෆ්‍රී කඩ නැත. ඒ රටවල තීරුබදු රහිත සාප්පු සංකීර්ණ ජාත්‍යන්තර තලයේය. ඒවායේ අපේ මෙන් තරඟයට කෑගසන්නෝ ද නැත. අපේ අද පවතින ක්‍රමය වෙනස් විය යුතුය. විදේශ ශ්‍රමිකයන්ට එම සහන ලබා දිය යුතු අතර ඒ සදහා වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. පේ රටේ තරම් ගුවන් තොට තුලදී පරීක්ෂා කිරීම් වෙනත් කිසිදු රටක කරන්නේ නැත. රටින් පිටවීමේදී ප්‍රධාන දොරටුවේ සිට ගුවන් ගමන් බලපත්‍රය අඩුම තරමේ නිලධාරින් සිවු දෙනෙකුවත් පරීක්ෂා කරයි. ඒ අතර විදේශ සේවා නියුක්ති කාර්‍යයංශයද වේ. ඔවුන්ට සෑම පුරවැසියෙකුගේම ගමන් බලපත්‍ර පරීක්ෂා කරන්නට බලයක් ඇත්ද යන කාරණයද ප්‍රශ්නයකි.

පැමිණීමේදී ද එසේමය. එහෙත් කල යුතු අත්‍යවශ්‍ය පරීක්ෂාව ඒ ආකාරය කරනවානම් අතරමග මිනිසුන්ට හිරිහැරයක් වන පරීක්ෂා අවශ්‍ය නැත. අපට වඩා කුඩා මාලේ, කත්මන්දු , සහ අනෙක් සියලු ගුවන් තොටුපොලවලද පැමිණීමේදී තමන්ගේ ගමන් මලු අනිවාර්යයෙන් ස්කෑනර් යන්ත්‍රය මගින් පරීක්ෂා කරවා ගත යුතුය. ඉන්පසු ඔවුන් නිදහස්‍ ය. අපේ ස්කෑනර් යන්ත්‍රයක් තිබුණද එතැන වන්නේ රැන්ඩම් ඉන්ස්පෙක්ශන්‍ ය. රේගු නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටියද ඒ ආකාරයට ගෙනෙනු ලබන සෑම භාණ්ඩයක්ම ස්කෑනරය ඔස්සේ පරීක්ෂා වන්නේ නැත. ඔවුන් සමහර දේ පමණක් පරීක්ෂා කරයි. එසේ කරන්නට හේතුව පැහැදිලි නැත. මේවා සම්බන්ධයෙන් වගකිව යුත්තන් හටද මේවා පෙනෙන්නේ නැත.රේගුවෙන් පිටවූ පසු ආයෙත් මගියා පරීක්ෂාවට ලක් කරන්නේ ගුවන් තොටුපොල ආරක්ෂක අංශයයි. ඔවුන් මගීන් පරීක්ෂා කරන ආකාරය ගැන වීඩියෝවක්ද පහු ගිය කාලයෙහි සමාජ මාධ්‍ය ජාලවල සැරි සැරුවේය. ඔවුන් බලන්නේ බෑග් සොරුන් ය. වැරදි බෑග් ගෙන යන මගීන්‍ ය. මා දන්නා තරමට තමන්ගේ බෑග් එක නොවන බෑග් එකක් ගෙන යන්නට කෙනෙකුට පිස්සු තිබිය යුතුය. අද දින මා ගුවන් තොටින් එලියට පැමිනෙද්දී මෙවැනි නිලධාරියකු මාගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කීවේය.

ඔහුට ඒ සදහා බලයක් ඇත්ද විමසූ කල බෑග් එක පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කීවේය. ඒ සදහා බලයක් ඇත්ද විමසූ කල බෑග් එකෙහි හිමිකාරත්‍වය ඔප්පු කරන්නට කියා මට අභියෝග කලේය. පසුව ඔහුට තේරෙන භාෂාවෙන් මෙය මගේ ගමන් මල්ල බව සහ ඔහු කරන්නට යන දේ මට තේරෙන බව පැවසූ පසු ඔහු එතැනින් ඉවත් විය. මේවා දිනපතා වන දේවලය. එහෙත් මේවා වැලැක්වීමට කාට හෝ අවශ්‍යතාවයක් නැත. සමහර විට එයට හේතු විය හැක්කේ ඉහල නිලධාරියාටද මේවායේ ප්‍රතිලාභයන් ලැබෙන නිසා විය හැකිය.ගුවන් තොටුපොල එලිමහනෙහි ඇති කුලී රථ රියදුරන්ද එසේමය. ඔවුන් හැසිරෙන්නේ ගොදුරු ඩැහැ ගන්නට සිටිනා ගිජුලිහිනීන් මෙනි. කිසිදු සංවරයක්, සීලාචාරභාවයක් නොමැත. ගුවන් තොටින් එලියට එන මගියෙකුට බස් රථයක් හෝ දුම්රියක් සොයා ගත හැකි ක්‍රමයක් සදහන් එක පුවරුවක් ගුවන් තොටෙහි නැත. ගුවන් තොටෙහි දුම්රිය පොල අක්‍රීයය. එහි වේදිකාවෙහි ඇති වැටෙහි සේවකයන් රෙදි වනා තිබෙනු මා දැක ඇත. ගුවන් තොටුපොල ආසන්නයෙහි බස් නැවතුමක් නැත. බස් නැවතුමට කද මලු උස්සා ගෙන තව දුරක් යා යුතුය.

එයද පාර අසා ගෙනය. මේ සියල්ල ගුවන් තොටක තිබිය යුතු දෑය. රටට එන ආගන්තුකයාට සේවය සලසන්නට කල යුතු දෑය.අද එන සියලු මගීන් ගුවන් තොටෙහි සිට ටැක්සිවල යා යුතුය , නැතිනම් ගුවන් තොටින් එලියට බැස තමන්ට හමුවන සෑම මිනිසෙකුගෙන්ම පාර අසා ගනිමින් බස් රථයක් සොයා යා යුතුය. ගුවන් තොටින් එලියට බසින විදේශිකයන් ඉන්පසු පත්වන අසරණ භාවය මා ඕනෑ තරම් දැක ඇත. ඔවුනට පිහිටට කවුරුන් හෝ නොමැත. බස් රථයෙන් පාසිකුඩා යන්නට පැමිණි විදේශිකයා අවසානයේ පත්වන අසරණ භාවය නිසා ඉල්ලන ඕනෑම මුදලක් ගෙවා ටැක්සියෙන් ගිය වාර අනන්තය.රට දියුණු කරනවනම් ඒ සියල්ලට පෙර මේවා සකස් කල යුතුය. අපේ අවාසනාවකට අපේ ලොකු ලොක්කෝ රට යන්නේ වීඅයිපී ලෝන්ජ් එකනි, එනිසා ඔවුනට මේ කිසි දෙයක් පෙනෙන්නේ නැත, මේවා ගැන දන්නේද නැත.

( ගුවන් තොටෙහි සිදුවන දෑ ගැන විමසූ විට සියල්ල කියන්නට ඉදිරිපත් වූ මා නොහදුනන ආගමන නිලධාරී මහතාටත්, ගූවන් හමුදා නිලධාරි මහත්වරු කිහිප දෙනාටත් ස්තුතියි)





0 comments

Post a Comment

Trending

facebook