ඒ නිවස අසපුවක් වැනිය. කුරුඳු යායකින් වට වූ ඒ ගෙවත්ත ද පන්සල් මිදුලක් සේ සුන්දරය. පිළිවෙළය. නිවස ඉදිරිපිට ඇඳි පුටුවට බර දී සිටින පින්වන්ත මෑණියන්ගේ උතුරා යන ළෙන්ගතු සිනාවට හදවත පිරිණි. කොළඹ සිට පැය කිහිපයක වෙහෙසකර ගමනක් ගිය අපගේ විඩාව ක්‍ෂණයෙන් දුරු විය.

කොහොමද අම්මා…

‘හොඳින් ඉන්නවා පුතේ. කකුල් දෙක කකියන්න ගත්තා… ඒකයි මේ චුට්ටක් අත ගගා හිටියෙ..’ ඇය දෙපා පිරිමදිමින් සිටින අයුරු ගෙවත්තට ඇතුළු වූ මොහොතේම අපි දුටිමු. එහෙත් කාන්තියෙන් බැබළෙන මුවමඬලේ ශරීර පීඩාවක සේයාවක් හෝ නොපෙනුණි. අපි දුටු විටම රැුලි වැටුණු මුහුණ පුරා සිනාව ඉහිරිණි. ‘ගිය සතියේ සිරිපාදේ නැග්ගනෙ පුතේ… උඩටම නැගලා ශ‍්‍රී පාද පද්මයත් වැඳගෙනම තමයි බැස්සෙ. දැන් ඉතිං අපි වයසයිනෙ… ඒ නිසා තමයි මේ කකුල් කකියන්නෙ…’අම්මට වයස කීයක් විතර ඇද්ද… ඒ ළෙන්ගතු කතාවට මගේ මුවින් පැනයක් විසිවිණිි.‘අසූවයි පුතේ…’ මුහුණ මල්වත්තක් සේ පිපිණි.

‘අනේ මගේ පොඩි පුතා හිරෙන් නිදහස් වෙනකම් ජීවත් වුණොත් ඇති. උදේ හවස බුදුන් වැඳලා ප‍්‍රාර්ථනා කරන්නෙත් එච්චරයි… මේ පාර ශ‍්‍රී පාද වන්දනා කරගෙනත් ප‍්‍රාර්ථනා කළෙත් පුතාට ඉක්මනට නිදහස ලැබෙන්න ඕනා කියලයි. අනේ පව්ෟ මේ ඉන්නෙ මගේ පොඩි පුතා… හොර, මැරකම් කරලා නෙමෙයි හිරේට ගිහින් ඉන්නෙ රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ගිහින් ඒකත් ආඩම්බරයක් නේද පුතේ…’ රැුලි වැටුණු ඒ මුහුණ අභිමානයෙන් පිරෙන අයුරු මට පෙනිණිි. ඇය උකුල මත තිබුණු පුංචි පොත් පිංචක් ගෙන වෙව්ලන දෑත් අප දෙසට දිගු කළාය. ඇස ගැටෙන ඇසිල්ලට මම ඒ පොත් පිංචේ පිටකවරයේ ඡුායාරූපය හැඳිනගතිමි. ඒ ජාතිය වෙනුවෙන් නිර්භයව හඬ නැඟූ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝය. දැන් අප සිටින්නේ.

ගලගොඩඅත්ත ගමේ, ඥානසාර හාමුදුරුවන්ගේ මෑණියන් සමඟ කතාබහ කරමිනි. ඇය ඩබ්ලිව්. ඞී. ගුණවතීය. ගම මීටියාගොඩය. ගලගොඩඅත්ත ගමේ පදිංචියට පැමිණ සිටින්නේ නාමෙල් උපාසක මහතා සමඟ විවාහ වීමත් සමඟය. දරුවන් සයදෙනකු මෙලොවට ජාතක කර, යහපත් පුරවැසියන් බවට පත් කළ නාමෙල් උපාසක මහතා 2003 අවුරුද්දේ මෙලොවින් සමුගෙන ගියේය. ඔහු මිය යන විට වයස අවුරුදු හැටනවයක් බව ගුණවතී අම්මා අපට කීවාය.‘‘පුතාලගේ තාත්තා නැති වුණේ හිටිහැටියේ. රාත්තිරියේ ටිකක් අසනීප ගතියෙන් ඉඳලා උදේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට ගිහාම නතර කරගත්තා. ලොකු අමාරුවක් නැති නිසා මම ගෙදර ආවා. ඒත් මට ගෙදරට එන්න බැරි වුණා. මගදි ආරංචි වුණා පුතාලගේ තාත්තා නැති වුණා කියලා. ලෙඩ දුක් හැදිලා දුක්වින්දේ නෑ. වාසනාවන්ත මරණයක්. දරුවන්ගේ දරුවොත් දැකලා තමයි නැති වුණේ…’’

මට දරුවො හයදෙනයි. පුතලා පහයි. එක දුවයි. අපේ හාමුදුරුවො තමයි පවුලේ බාලයා. පොඩි පුතා ඉස්කෝලෙ යන කාලෙත් අසාධාරණය වෙනුවෙන් කතා කරල ළමයි එක්ක ආරවුල් ඇති කරගෙන තිබුණා. පුංචි කාලෙත් හරිම දඩබ්බරයි…’ මුව පළල් වී සිනහව මුහුණ පුරා විසිරෙන විට ගුණවතී අම්මා රස බර කතාවකට අසුන මත හරි බැරි ගැසිණි. ‘කතා කළා මිසක් මොනවත් බිව්වෙත් නෑනෙ… පුතාලා එනවා කියලා ආරංචියට බෙලි යුෂ ටිකකුත් හැදුවා. තේත් ලිපේ තිබ්බා. මොනවද බොන්නෙ…’ අසුනෙන් නැඟිට කඩිසර ගමනින් නිවස තුළට ගමන් කිරීමට සූදානම් වෙද්දී සිරිමන්ත අතින් අල්ලා නතර කළේය.

‘‘අපේ හාමුදුරුවොත් බෙලිවලට හරි ආසයි. මගේ දරුවො පුංචි සන්දියේදී ගෙදර අමතර කෑමක්, බීමක් හැදුවම වැඩියෙන්ම කන්නෙ පොඩි පුතා… පවුලෙ බාලම දරුවනේ. අයියලා, අක්කලත් හරිම ආදෙරයි. අක්කලා අයියලාට වඩා පොඩි පුතා දඟයි. ඒත් අපි කියන දේ ඇහුවා…’’ කතා කරන වේගයට වෙව්ලන තොල්පට පැටලිණි. හිතට එන ඕනෑම දෙයක් කියන්නට ඉඩ හැර අපි ගුණවතී අම්මාට සවන් දී සිටියෙමු. ‘‘පොඩි පුතා ඉගෙනගත්තෙ කරන්දෙණිය මහා විද්‍යාලයේ. තුන, හතර පන්තිවල ඉගෙනගන්න කාලේ ඉඳලම මහණ වෙන්න ඕන කියලා කිව්වා. ඒ වචන ඇහෙනකොටත් මගේ හිත සතුටින් පිරුණා. ඒත් මහණ වෙනවා කියනවට පුතාලාගේ තාත්තා කැමැති වුණේ නෑ. තාත්තත් පොඩි පුතාට පණ ඇරලා හිටියේ. ගෙදර එනකොට පුතා පේන්න හිටියේ නැති නම් හිත හොඳ නෑ. ඒ වගේම තමයි අයියලත්. මගේ තුන්වෙනි පුතා කොළඹ රස්සාවක් කරලා අවුරුදු නිවාඩුවට එනකොට මල්ලිට කියලා පොත්, පාසල් උපකරණ ලොකු පෙට්ටියක් ගෙනත් තිබුණා. අයියා ගෙනත් අතට දුන්නම ආශාවෙන් අත පත ගගා හිටියා. ඊට දවස් දෙකකට විතර පස්සෙ බඩු පෙට්ටිය ගෙදර නෑ. හොයලා බලනකොට ඒ පෙට්ටියම අවුරුදු උත්සවයකට දොරදං දීලා…’’ ‘ඇයි පුතේ එහෙම කළේ කියලා අහනකොට ‘මට ඒවා වැඩක් නෑනෙ අම්මේ… ඇයි පුතේ එහෙම කියන්නෙ මේ ගේ දොරත් ඔයාට නේ…

‘‘මට මේවා වැඩක් නෑ අම්මේ… අයියලාට දෙන්න මම මහණ වෙනවා නේ…’ එතකොට පුතා ඉස්කෝලෙ හය වසර පන්තියේ ඉගෙනගත්තෙ. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා ටික, වෙලාවක් මගේ ඇෙඟ් දැවටි, දැවටි ඉඳලා කෙළින්ම දිව්වේ ජයබිම ආරණ්‍ය සේනාසනයට. පෝය දවසට සිල් සමාදම් වෙච්ච උපාසක අම්මලා, තාත්තලාට පැන, පැන දන් බෙදුවා. ඒ වැඩ කළේ පුදුමාකාර උනන්දුවකින්. ගමේ ළමයි එක්ක සෙල්ලමට ගියා අඩුයි. හවස්වරුවේ ආරණ්‍ය සේනාසනයේ ඉඳලා ඇඳිරි වැටෙනකොට ගෙදර දුවනවා. ඒ ආවට පස්සේ මා ළඟින් හෙල්ලෙන්නෙ නෑ. රැට නිදාගන්නෙත් මගේ ඇඟට අතයි, කකුලයි දාගෙන. පුතාට හොඳටම නින්ද ගියාට පස්සෙ තමයි අතයි, කකුලයි පැත්තකට කරන්නෙ. එහෙම හිටිය දරුවා හිටි හැටියේ හවසට ආච්චිලාගේ ගෙදර යන්න පටන් ගත්තා…’’‘‘මොකද පුතේ රැට ගෙදර නිදාගන්නෙ නැත්තෙ කියලා අහනකොට ‘අම්මගෙන් ටිකක් ඈත් වෙන්න හිතුවා…’ එහෙම කියනකොට නම් හිතට දුකක් ඇති වුණා. ඒත් පුතා මේ බුද්ධ පුත‍්‍රයෙක් වෙන්න නේ පෙරුම් පුරන්නෙ කියලා හිතා හදාගත්තා. මහගෙදර නිදාගන්න පටන්ගෙන සතියක් දෙකක් යනකොට දවසක් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් යමු අම්මේ පන්සලට… අද මාව පන්සලට භාර දෙන්න… කිය, කියා මගේ ඇඟ් වෙලූණා. මම කිසිම උත්තරයක් නොදී අදි, මදි කර කර හිටියා. නතර වුණේම නෑ. පස්සෙ මෙන්න මේ වගේ ඇඳිරි වැටීගෙන එනකොට ගෙදර කාටවත් නොකිය මම පුතාවත් අරගෙන පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට භාර දුන්නා…’’

‘මොකද නුවන්සිරි මහණ වෙන්න හිතුණේ… ඉස්කෝලෙ යන්න අකැමැතිද… එහෙම නැතිනම් ගෙදර කෑම, බීම හිඟද?…’ ලොකු හාමුදුරුවො ප‍්‍රශ්න වැලක් අහගෙන ගියා. ඒ හැම ප‍්‍රශ්නයකට නෑ… නෑ… කියලා හොඳට උත්තර දුන්නා.‘එහෙම නම් නුවන්සිරි මේ ගමන ඇවිත් තියෙන්නෙ හොඳ අවබෝධයෙන්… හොඳයි… ඔය දරුවා පන්සලේ නතර වෙලා අම්මට ගෙදර යන්න කියන්න. අපි හොඳ දවසක් බලලා මහණ කරන්නම්…’‘‘ඒත් අවුරුද්දක් විතර යනකම් පුතාව මහණ කළේ නෑ. පුතා ඔය ගැන කනස්සල්ලෙන් ඉන්න බවක් මටත් තේරුණා. දවසක් ලොකු හාමුදුරුවො කලබලෙන් වගේ අපිට කතා කරලා කිව්වා නුවන්සිරි පන්සලේ නෑ කියලා. ගම හැම තැනම හෙව්වා. කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබුණේ නෑ. අසල්වාසී ගම් පීර, පීර හෙව්වා ඒත් හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා. ගමේ මිනිස්සු එකතු වෙලා බෝධි පූජා තිබ්බා. මම හඳහන් බැලූවා… වේලාව බලපු හැම තැනම කිව්වේ සිවුරේ හිටියත් පැනලා යනවමයි කියලයි. මාසයක් විතර යනකම් පුතා ගිය ඉසව්වක් දැනගන්න ලැබුණේ නෑ. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො හොයාගෙන ගිහින් කොළඹ පන්සලක ඉන්නකොට එක්කරගෙන ඇවිත් තිබුණා. ඒ ගිහින් තිබුණේ මහණ කරන්නෙ නැති තරහට. ඊට පස්සෙ තමයි ලොකු හාමුදුරුවො නැකත් බලලා මහණ කළේ…’’

නාමෙල් උපාසක මහතාගේ පවුලේ බඩපිස්සා ලෙස 1975 අවුරුද්දේ මාර්තු මස 4 වැනිදා උපන් පුතුට ගමේ පන්සලේ නායක හාමුදුරුවො නුවන්සිරි කුමාර ලෙස නම් තැබූහ. නිරෝගි සම්පත්තියෙන් දැඩි වූ නුවන්සිරි කුමාර අවුරුදු එකොළහ සම්පූර්ණ වන විට වතුරවිල ජයබිම ආරණ්‍ය සේනාසනයේදී ගලගොඩඅත්තේ ඥානසාර නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ගාල්ල වතුරවිල ආරණ්‍ය සේනාසනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනුරාධපුර සාරානන්ද පිරිවෙනෙන් සහ විද්‍යොදය පිරිවෙනන් අධ්‍යාපනය හදාරමින් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. එම විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධියත්, රාජකීය පණ්ඩිත විභාගයෙනුත් සමත් වී කලපුවාව පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙස කටයුතු කරනු ලැබූහ. පසුව පරිවේණාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ උන්වහන්සේ ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් ධුරය හොබවමින් පූර්ණකාලීනව සිංහල ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප වී සේවය කළහ. ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා සංවිධානයට ජීවය ලබා දෙමින් රට, ජාතියට සිදු වූ අන්‍ය ආගමික කෙණෙහිලිකම් හමුවේ නිර්භයව පෙනී සිටීයහ.‘‘ජයබිම ආරණ්‍ය සේනාසනයෙන් කොළඹට ආවේ ඉගෙනගන්න කියලා. අන්තිමේ කොළඹම නතර වුණා. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා නම් හීනෙකින්වත් හිතුණේ නෑ. අපේ හාමුදුරුවෝ හිරේට නියම වුණා කියලා දැනගත්තම මට ඉහිලූම් නැතිව ගියා. ඒත් ඉතිං මං මොනව කරන්නද… හිරේ යන්නත් දෛවයේ ලියැවිලා තියෙන්න ඇති. එහෙම හිතලා දුක තුනී කරගෙන අපේ හාමුදුරුවො බලන්න ගමන් දෙකක් මම හිරගෙදරට ගියා. පහුගිය 4 වැනිද අපේ හාමුදුරුවන්ට අවුරුදු හතළිස් හතරට ලැබුවා. උපන්දියට කැවිලි චුට්ටකුත් හදාගෙන එදත් මම බලන්න ගියා. පැණි රස කෑමවලට ටිකක් ආසයි. ඒත් කෑම, බීම අරගෙන බලන්න එනවට හාමුදුරුවො කැමති නෑ…’’

‘අම්මා මක්කට ද එන්නෙ…’ කියලා මූණ පුළුටු කරගන්නවා. මාව දකිනකොට හාමුදුරුවන්ටත් දුක ඇති. හිර කූඩුවේ ඉන්නවා දකිනකොට මගේ පපුවත් හෝස් ගාලා පත්තු වෙනවා. දරුවෙක් හිර කුඩුවක ඉන්නව දකින්න මොන අම්ම ද කැමති. වනේ, වන හතුරෙකුටවත් එහෙම දේවල් නම් වෙන්න නරකයි. මම අම්මා කියලා හාමුදුරුවො එක්ක හිතේ හැටියට කතා කරන්නවත් ඉඩක් නෑ. ඒකටත් තහංචි. ඒත් ඉතිං හිරේ දාලා අපේ හාමුදුරුවන්ව නතර කරන්න බෑ. කොච්චර ප‍්‍රශ්න ආවත් පස්සට නම් යන්නෙ නෑ. හිරෙන් නිදහස් වෙලා ආපු දවසටත් රට ජාතිය වෙනුවෙන් කතා කරනවා ඒක ස්ථිරයි… මම මැරෙන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවො නිදහස් වෙලා ආවොත් මට ඒ ඇති…’’ එසේ කියමින් ඇය නැඟිට නිවස තුළට ගොස් කැවිලි බන්දේසියක් රැගෙනැවිත් ආලින්දයේ මේසය මත තැබුවාය. ‘පුතේ තේවලට වඩා හොඳයි බෙලි යුෂ ටිකක් බොමු…’ඒ පින්සාර මෑණියන් සමඟ කතාබහ කරමින් සිටින අපට දවස කළුවර වන බවක්වත් නොතේරිණි. ගමනේ දුර බැහැර බව මතක් වූයේ හැන්දෑ ඇඳිරිය දෙපා මුලටම වැටුණු විටය.ගුණවතී මෑණියන්ගේ එකම ප‍්‍රාර්ථනාව මියැදෙන්නට පෙර ඥානසාර හාමුදුරුවො නිදහස් වී පන්සලට වැඩම කරනු දැකීමය. දවස තිස්සේ බණ ඇසෙන මේ බෞද්ධ රටේ, බුද්ධ පුත‍්‍රයකු මෙලොවට බිහි කළ ඒ මෑණියන්ගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට නොවෙන්නේ නම් මේ ධර්මද්වීපයක් නොවේ. එවැනි සිතුවිලි දහරාවක් මනසේ ඇඳෙන විට බිම් කළුවරත් සමඟ අපි ගුරු පාරට පියවර තැබුවෙමු.

0 comments

Post a Comment

Trending

facebook