වටේටම ගංවතුර ගේත් බාගේට යටවෙලා මංගල මුණසිංහගෙ අම්මා දෝන සෝමාවති මංගලව කුස දරාගෙන ප්‍රසූත වේදනාවෙන් කෑ ගහනවා. මංගලගෙ තාත්තා සාලේ එහාට මෙහාට වේගෙන් ඇවිද ඇවිද බිය කුතුහලය මුසු හැඟීම් දරාගෙන හිටියා. කළුතර නගරයේ රෝහලකට යාගන්නත් ගංවතුරෙන් ඉඩක් නෑ. එදා අස්වැසිල්ලකට තිබුණෙ තුඩුගල ගමේ වින්නඹු අම්මා නිවසට ඇවිත් අවශ්‍ය දේ පිළියෙල කරමින් හිටියා.

1962 මැයි 13 වෙනිදා වින්නඹු අම්මගෙ දැනුමට කැපවීමට පිං සිද්ද වෙන්න හුරු බුහුටි පිරිමි දරුවෙක් මෙලොව එළිය දුටුවා. ඒ වෙන කොටත් මුණසිංහලට පිරිමි දරුවෙකුත් ගෑනු දරුවෝ තුන් දෙනෙකුත් හිටියට තමන්ගෙ කැදැල්ලට ආයේත් කිරි සුවඳ ගෙනාපු මේ දරු සිඟිත්තා ගැන අප්‍රමාණ සෙනෙහසක් ඒ අම්ම තාත්තට තිබ්බා. තමන්ගෙ පවුලට අලුත් ආලෝකයක් ලැබුණා වගේ වැඩිමල් සොයුරියන් හා සොයුරෝත් බොහොම සතුටින් හිටියේ. ගංවතුර දවසක සතුටේ ආලෝකය රැගෙන ආ පුතුට මංගල කියා ඔවුන් නම තැබුවා.

මංගලට පෙනීමේ දුර්වලතාවක් ඇති වූ බැවින් ප්‍රතිකාර වගේම උපැස් යුවළකුත් කුඩා කාලේම මංගලට පාවිච්චිකරන්න වෙනවා. මහා මාර්ග දෙපාර්තමේන්තුවෙ රියැදුරු රස්සාව කළ මංගලගෙ තාත්තට රස්සාවෙ පහසුව වෙනුවෙන් කළුතරින් නුවරඑළියට යන්න වෙනවා. ඔහු සිය පවුල සමග නුවරඑළිය හාවාඑළියෙ ආකර්ෂණීය දිය ඇල්ලක් සහිත ලවස් ස්ලීප් ගමේ පදිංචිවෙනවා. එතකොට මංගලට යාන්තම් අවුරුදු තුනක් විතර ඇති.

ඉතා සුන්දර පරිසරයක පදිංචි වීමේ වාසනාව නිසා පවුලේ අය සතුටට පත් වුවත් කුඩා මංගලගේ ඇස් පෙනීමේ දුර්වලතාවය නිසා හිත කරදරෙන් හිටියේ.

“මම ඉස්කොලෙ ගියෙ නුවරඑළිය ගාමිණි මහා විද්‍යාලයට. අද ගාමිණි විද්‍යාලය කීර්තිමත් ජාතික පාසැලක්. පොත පතට ලැදියාවක් පුංචි කාලෙ ඉඳලා මට තිබුණා. එත් මගේ ඇස් පෙනීමේ දුර්වලකම නිසා සාමාන්‍ය දරුවෙකුට වඩා වෙහෙසෙන්න සිද්ද වුණා. ඇසට ලංකරගෙන පොත පත කියවන්න වුණේ. හොඳට ඉර එළිය තියෙන පරිසරයම ඕන වුණා. කියවන්න. ලියද්දි මම තද පාට පෑන් පාවිච්චි කළා. දවල්ට ඉර එළියට මට තනියම යන්න එන්න වැඩ කරගන්න පුළුවන් වුණා. හැබැයි රෑට මගේ පෙනීම හොඳටම දුර්වලයි”
මංගල තමන්ට දෛවය කළ සරදම එතරම් තැකීමක් කළේ නෑ. පාසැලේදි යාළු මිත්‍රයෝ ගුරුවරු ඔහුට උපරීම සහයෝගය දී තිබුණා. අධ්‍යයන කාර්යන් වෙනුවෙන්. නිවසේදි මංගලගෙ අම්මා විශේෂ කැපකිරීමක් කර තිබුණා මංගල වෙනුවෙන්.

“මගෙ පෙනීම දුර්වල නිසා අම්මා ගොඩක් පාඩම් මට ඇහෙන්නෙ කියවනවා. එය මට අප්‍රමාණ ධෛර්යක් දුන්නා. තාත්තා වගේම. අක්කලා සහ අයියාත් මගේ මල්ලි සහ නංගීත් මට පාඩම් වැඩවලදිත් සාමාන්‍ය ජීවිතයේදීත් හරිම ආදරෙන් උපකාර කළා. මට බෑ අමාරුයි කියන වචනනෙවත් පිට වෙන්නෙ නැති වෙන්න මගෙ අම්මා විශේෂයෙන්ම මං ගැන කැප වුණා”

දෝන සෝමාවති මුණසිංහ අම්මගෙ සහ පවුලේ අයගේත් පාසැලේ කැපවීමේත් ප්‍රතිඵල මංගල සාමාන්‍ය පෙළ විභාගයෙන්ම පෙන්වා තිබුණා.

“මම වැඩ අටම සම්මාන පහක් එක්ක සමත් වුණා. විශේෂයෙන් විභාග ශාලාධිපති සහ කාර්ය මණ්ඩල මට හොඳින් ආලෝකය ලැබෙන ජනේල අසල මේස ලබා දුන්න. ප්‍රශ්න පත්තර කියවද්දී අනිත් ළමයින්ට වඩා කාලයක් ගත වීම හැර වෙනත් බාධාවක් මට තිබ්බෙ නෑ.”

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආ දවසෙ මංගලගෙ අම්මා සහෝදර සහෝදරියො ඔක්කොටම සතුටට ඇඬුණා. මංගලගෙ තාත්තා ඇස් හොඳටම දුර්වල වුණත් උත්සාහය අත්නොහරින පුතා ගැන ආඩම්බර වුණා.

1979 අගෝස්තුවේ උසස් පෙළ ලියන්න සූදානම් වෙමින් සිටියදි මංගලට අප්‍රමාණව සෙනෙහස දක්වමින් කැපවුණ ඔහුගේ ආදරණීය මෑණියන් මෙලොව හැර යනවා. දවසින් දවස පෙනීම අහිමි වෙමින් යන දෑස් නිසා උරුමවෙමින් තිබෙන අඳුරට වඩා මහා ශෝකාන්ධකාරයක් ඔහුගෙ ළයේ, මවගෙ වියෝවෙන් හට ගන්නවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී ඔහුට ගිණුම්කරණ විෂයේදි කාලය මදි වෙන්නෙ ඔහුගෙ පෙනීමේ දුර්වලකම නිසා. ඔහු උසස් පෙළ වැඩ හතරෙන් තුනක් පමණක් පළමු වතාවේ සමත් වෙනවා.1980 ඔහු උසස් පෙළ ලියලා තුන්වන වරටත් ලියන්න මහන්සි වෙමින් හිටියා.

“මට හිටියා හොඳම යාළුවෝ 14 දෙනෙක්. මාත් එක්ක 15 කණ්ඩායමක් අපි. කොහොමහරි විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න අපි මහන්සි වුණා. ඒ යාළුවෝ ටික අතරෙ හිටියා චූලානන්ද පෙරේරා, ඩබ්ලිව්. එච්. කරුණාරත්න, නවාස් ජිෆ්රි, ගුරුසිංහ, ඔය වගේ පිරිසක්. අපේ 15 දෙනාගෙ කණ්ඩායමේ යාළුවෝ තමයි මට උපකාරයට ළඟම හිටියේ.”

තුන්වන වර උසස්පෙළට සාර්ථකව මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින කාලයේ මංගලගෙ ඇස් පරික්ෂාකර නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගන්න මහනුවර වෛද්‍යවරයෙක් ළඟට තාත්තා විසින් මංගලව එක්ක ගියාම වෛද්‍යවරයා කිව්වෙ මෙහෙම.

“මංගලගෙ ඇස්වල ස්නායු දවසින් දවස අක්‍රීය වෙමින් තිබෙන්නෙ. පොත් පත්වල වැඩවලින් ඇස් ස්නායු වෙහෙස වෙලා ඇස් මිය යාම තවත් ඉක්මන් වෙනවා.එනිසා අධ්‍යාපන වැඩ වහාම නතර කරන්න. ඒවගේම අවුරුදු 25 වෙනකොට සම්පූර්ණ පෙනීම අහිමි වෙනවා. ඇස් වැඩිපුර වෙහෙසුවොත් සම්පූර්ණ අන්ධවීම ඊට කලින් වෙන්න පුළුවන්”

එදා රෑ ගෙදර මළගෙයක් වගේ. මංගලගෙ තාත්තා තම පුතාගෙ අනාගතය ගැන හිත හිතා ඇඬුවා. අක්කලා නංගි මංගලව බදාගෙන ඇඬුවා. තමන්ගෙ දෛවය ගැන හිතමින් කඳුළු සලනවා හැර වෙන යමක් ගැන මංගලටත් හිතාගන්න බැරි වුණා. නමුත් පසුදා උදේම ගෙදර මේ හැඬිම් වැලපීම් නතර කළ යුතුයැයි, මංගල හිත හදාගෙන තිබුණා. ජීවත්වෙන්න ධෛර්යය ඕනම කරන දවසක මංගල ඒ ධෛර්යය හිතේ උපදවාගෙන නැගිට්ටා

“මම උදේම තාත්තා ළඟට ගිහින් කිව්වා. තාත්තා බය වෙන්න එපා. මම මගෙ ජීවිතේ අවුරුදු 25 වෙනකොට ගොඩ දාගන්නවා ආයේ නොවැටෙන්නම කියලා. එහෙම කියද්දි අක්කලත් එතනට ආවා. මම එයාලටත් කිව්ව උපතින්ම සම්පූර්ණ අන්ධ ආබාධිත මිනිස්සුත් ඕනෑ තරම් ජීවිතේ දිනලා තියෙනවා. මමත් ජීවිතේ වැටෙන්නෙ නෑ. ගොඩ යනවමයි බය නැතුව ඉන්න’’

මේ සිද්ධියෙන් දින කීපයකට පසු උසස්පෙළ සමත් ප්‍රතිඵල ලැබෙන්නෙ ඔහු ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට තේරෙන පුවතත් එක්ක.. එපමණක් නොව ඔවුන්ගෙ 15 කණ්ඩායමෙන් 9 දෙනෙක්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා තිබීම තම සමීප මිත්‍රයෙකු වූ චූලානන්දත් ජයවර්ධනපුර සරසවියටම සුදුසුකම් ලබා තිබීමත් මංගලගෙ වාසනාවකි.

“මම කැම්පස් යන එකට තාත්තා කොහෙත්ම කැමති උනේ නෑ. ඒ මම ඉක්මනින්ම සම්පුර්ණයෙනම අන්ධ වෙනවා දකින්න ඇති අකමැත්ත නිසා. යාළුවෝ තාත්තාට කළ පැහැදිලි කිරීම් මත මට ජපුර උපාධිය ලබන්න අවසර ලැබුණා.”

ජයවර්ධනපුර සරසවියෙදි හමු වු යහළුවන් ආචාර්ය මාහාචාර්යවරුන්ද මංගලට හැකි හැම මොහොතකම උපකාර කර තිබුණි. ඊටත් කිසිවකුට මංගල වෙනුවෙන් විශේෂ කැප කිරීමක් සිදු නොකරන්නට චූලානන්ද වග බලාගෙන තිබුණේ තම මිත්‍රයා වෙනුවෙන් අප්‍රමාණව කැප වෙමිනි.

“චූලානන්දයි මමයි කාමරයක් අරං හිටියේ. චූලානන්ද මං වෙනුවෙන් පුදුම කැපවීමක් කරපු යාළුවෙක්. අද පරිපාලන සේවයේ බැබළෙන නිලධාරියෙක් වෙන්න එයාට ඒ පිනත් ලැබෙන්න ඇති. අද චූලානන්ද ක්‍රීඩා අමාත්‍යංශයෙ ලේකම්, කරුණාරත්න ඉඩම් අමාත්‍යංශයෙ ලේකම්. නවාස් විශේෂඥ වෛද්‍යවරයෙක්, ගුරුසිංහ වෛද්‍යවරයෙක්.

ඔය වෙද්දි මගෙ පෙනීම දවසෙන් දවස දුර්වල වෙමින් තිබුණේ. රෑට කිසිවක්ම නොපෙනෙන තත්ත්වයක් තිබ්බෙ. මුලින්ම වෝට් 200 බල්බ් එකක් මගේ මේසෙටම සමීප කරලා කවර් කරලා පොත් පත් වැඩ කරගත්තා. පස්සෙ වෙට් 500 බල්බ් එකක් පොතට කිට්ටුකර බලන්න වුණා. ඉතා කුඩා කාමරයක හොඳින් දෑස් පෙනෙන චූලානන්ද මේ විශාල අපහසුතාවය මා කෙරේ කරුණාවෙන් ඉවසා සිටියා.”

දෑස් දිනෙන් දින අන්ධවෙමින් තිබුණද තමන්ට ආලෝකය ගෙනෙන මිත්‍රයන් කීප දෙනකුගේම සහයෝගය ලබන්නට මංගල වාසනාවන්ත වෙනවා. “මචං උඹට පේන්නෙම නැතුව ගිහින් කසාදයක් කර ගන්නත් බැරුව තනි වුණොත් උඹට තනිවෙන්න මම දෙන්නෙ නෑ. මමත් බඳින්නෙ නැතුව ඉඳලා උඹව බලා ගන්නවා” දවසක් ගුණසිරි නම් මිත්‍රයා කියූ අයුරු අදද ඔහුට මතකය.

“විශ්වවිද්‍යාලයේ අවසන් කාලය වෙනකොට අපි නැවතිලා හිටියේ අතුරුගිරියෙ නිවසක. ඒ ගෙදර අයිති නැන්දට දුවක් හිටියා. ගයානි විජේරත්න කියලා. කොහොම හරි අපි පෙම්වතුන් වුණා. ඒක සසර හේතුවක්ද මන්දා ඒ දෙමාපියන් විරුද්ධ වුණේ නෑ.
“මම රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ උපාධිය ජයවර්ධනපුරින් ගත්තට පස්සෙ ඒ කාලේ රැකියා බැංකුව හරහා රස්සාවකට අයදුම් පත්‍ර යොමු කරල අක්කා එක්ක ගෙදර වත්තේ එළවළු වැව්වා. ඔය කාලේම සර්වෝදය සීඩ්ස් ව්‍යාපෘතියෙ දිස්ත්‍රික් ගණකාධිකාරි ලෙස මට රස්සාව ලැබුනා.”

1988 දි මංගල කළුතර රේන්දපොළට පදිංචියට ඇවිත් තිබුණේ රස්සාව කළුතර කාර්යාලයට හදාගෙනම. පියා විසින් එම නිවස මංගලට හදා දී තිබුණා. මංගල ඉවුම් පිහිම් කාර්යයේදී සමතෙකු බැවින් කළුතර ගෙදර තනිව උයා පිහා ගෙන තනිව තම කටයුතු කරගෙන රස්සාවද කරගන්ට හුරුව තිබුණේ ඉතාම අවම පෙනීම් තත්ත්වයක් යටතේ.

1988 පියාගේද ඉල්ලීම මත මංගල තම පෙම්වතිය වූ ගයනි සමග විවාහ වෙනවා. ඔවුන්ගෙ කැදැල්ලට පුතුන් දෙදෙනකුද එක් විය. ඔය අතරතුර ඉතාම අවම පෙනීම් මට්ටම යටතේම බස්නාහිර පළාත් ගුරු විභාගයටද ඔහු ඉදිරිපත් විය. පළාතේ 91 දෙනෙකු අතරින් මංගල 7 වන තැන ලබා ගැනීමත් සමග ඔහුට ගුරු වෘත්තිය ලැබුණි. එහෙත් දෑස් අවම පෙනීමක සිටින අයෙකු උගන්වන්නෙ කෙසේදැයි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ගැටලුවක් වුවද එසේ නොපෙනෙන තත්ත්වයක් යටතේ විභාගය ලියා 7 වෙනියා වෙන්ට හැකිනම් උගන්වන්ට ඇති බාධාව කුමක්දැයි යන කරුණු මතුවීමෙන් ඔහුට ගුරුපත්වීම ලැබුණි.

එහෙත් දෛවයේ ස්වභාවය … ! මංගලට පත්වීම ලැබී තිබුනේ රත්නපුර රක්වාන රත්නාලෝක විද්‍යාලයටය. ඒ 1993 දීය. නුහුරු නුපුරුදු පරිසරයක වුව නිවසින් දුර බැහැර වුව ඔහු ඒ අභියෝගය බාර ගත්තේය. බිරිඳත් දරුවනුත් කළුතර නිවසේ රඳවා ඔහු රක්වාන රත්නාලෝක විද්‍යාලයේ ගුරු පත්වීම් ලැබ පිටත් විනි.

එම විද්‍යාලයේ විදුහල්පතිතුමාටද මේ දෑස් අවම පෙනීමක් සහිත ගුරුවරයා කෙසේ උගන්නාදෝයි සැකයක් ඉපැදි තිබි නවතින්නටද ළඟ නිවසක් නොවූයෙන් ගුරුවරුන් කීප දෙනෙකුම නැවතී සිටි අසල විහාරස්ථානයේ නවතින අවසරය විදුහල්පති මැදිහත්වීමෙන් සකසා ගත් මංගල දරුවන්ට බොහෝ සෙනෙහසින් ඉගැන්වීම් ආරම්භ කළේය.
රත්නාලෝක විද්‍යාලයේ උසස්පෙළ ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයා ලෙස ප්‍රකට වන්නට ඔහුට මහ කලක් ගත නොවීය.

උදෑසන 6 සිට පන්ති පවත්වමින් දරුවන්ගෙ අභිවෘද්ධියට රක්වානේදි කැප වූ මේ ගුරුවරයා ප්‍රදේශයට සම්පතක් විය. පාසැල් තූර්යවාදක කණ්ඩායමක් නිර්මාණය කිරීමේ නියමුවා වූයේද මංගල ගුරුතුමාය. ඔහු කෙතරම් විදුහල්පතිතුමා හා පාසැලට වැදගත් වූයේද යත් දේශපාලන අධිකාරියේ සහායෙන් රක්වානෙන් ඉඩමක් ලබාදී එහිම පදිංචි කරවා ගැනීමට ඔවුහු වාර කීපයකදීම උත්සාහ කර තිබිණ.

1997 කළුතර බෝඹුවල ධර්මාලෝක ද්විතීයික පාසැලට මාරුවීම් ලැබ පැමිණෙන මංගල ගුරුතුමා එහිද උසස්පෙළ ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයා විය. 97 සිට මේ දක්වාම ඔහු සේවය කරුනුයේ එම පාසැලටය. මාරුවීම් අවස්ථා කීපයක් ලැබුණද ඒ සියලු අවස්ථාවන්හි විදුහල්පතිවරුන්ගේ මැදිහත්වීමෙන් සම්පත්දායක ගුරුවරයකු ලෙස ඔහුව එහිම රඳවාගෙන තිබේ.

ඔහුගේ උපදේශකත්වය කැපවීම මත ධර්මාලෝකය ජයග්‍රහණ රැසක් අත්පත්කරගන්ට සමත්ව ඇත. තුර්යවාදක කණ්ඩායම නිර්මාණය කර ගැනීම, ශිෂ්‍යභට තුර්යවාදක කණ්ඩායමක් සහිත කළුතර පාසැල් 3න් එකක් බවට පත් කර ගැනීම, ශිෂ්‍යභට සමස්ත ලංකා ජයග්‍රහණ කීපයක්ම ලබා ගැනීම, ස්වාධීන රූපවාහිනිය පැවැත්වූ පාසැල් බ්‍රාස් සංගීත කණ්ඩායම් තරගයේ අවසන් 25 අතරට පැමිණීම. පාසැල් මාධ්‍ය ඒකකය ගොඩනංවා රේඩියෝවක් පරිදි විකාශන මෙහෙයවීම, මෙම ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට ආ දියණියක වු ශානිකා කුමාරි 2010 යෞවන සම්මාන උළෙලේ හොඳම නිවේදිකාව ලෙස සම්මානද ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ක්‍රීඩා විකාශනයේ නිවේදක චමත් සන්නස්ගලද ඔහු ගොඩනැගු මාධ්‍ය ඒකකයෙන් පෙරට ආ දරුවන්‍ ය.

2009 වසරේදි පූර්ණ අන්ධ බවට පත් වූ ඔහු දෑස් ඇති ගුරුවරයෙකු තරමටම හොඳින් ඉගැන්වීම් කටයුතු කරනවා. අදද මේ ගුරුවරයාව පාසැලට ගෙන ඒමත් නිවසට ඇරලීමත් ආචාර්ය කාර්ය මණ්ඩලය තම වග කීමක් සේ සලකා කරන්නකි. ඔහු උදෑසන පැමිණීමෙන් පසු එසැණින් එන සිදු දරුවෙකු පන්ති කරා රැගෙන යමින් උපකාර කරන්නේය.

රිගණක භාවිතයේ නිපුණයෙකු වන ඔහු දෑස් නොපෙනීම නිවැරදි නිබන්දන විෂය කරුණු පරිගණකයක ඇසුරින් සකසා හෙට පාඩමට අද සූදානම් වේ. ඒ සඳහා විශේෂ මෘදුකාංග පරිගණක පුහුණුවක් අන්ධ ජනතා විද්‍යාලයෙන් ලබා තිබේ. හෙටට අවශ්‍ය පාඩම් මාලා කියවා දෙමින් සමීපව උපකාරකරන්නී ඔහුගෙ බිරින්දෑය. ඈ ඉතා වගකීමෙන් සෙනෙහසින් ඒ සඳහා කැපවන්නීය.ඔහුගෙ දෙනෙත් වන් පුතුන් දෙදෙනාද මේ සියල්ලට උපකාර කරයි.

මේ සුවිශේෂි මිනිසාගෙ වැඩිමහල් පුතු විදුමිත් මුණසිංහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටින අතර බාල පුත් සවිසිත් මුණසිංහ දෙවන ලුතිනන් වරයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිය හදාරමින් සිටී.

“මගේ විෂයෙ ප්‍රතිඵල බොහෝ අවුරුදුවල සීයට සීයයි. සීයට 95 වෙච්ච අවස්ථාත් තියෙනවා. පාඩම් වැඩ කිසිවක් අතපසු නොකර මම දරුවන් එක්ක බාහිර වැඩ ගොඩක් පාසැලේ කරනවා. දරුවන්ගෙ විනය ගොඩනගනවා වගේම මම විශ්වාස කරමින් කරන එක දෙයක් තියෙනවා. ඒ දරුවන්ට හරීම ආදරෙන් උගන්වන්න ඕනේ. දරුවන්ට ඒ ආදරය දැනෙනවා. ඔවුන් ඉගෙන ගන්නවා. මට දැන් පෙනීම ඇත්තේම නෑ. ඒ ඔහුගේ අධිෂ්ඨානශීලි හඬයි. ඒත් මම මේ දරුවන්ගේ දෑස් පාදන වැඩේ නොනවත්වාම කරනවා.”

0 comments

Post a Comment

Trending

facebook