ඒ අතීතය එතරම්ම ඈතක නොවේ. එක්දින තරගය පළමු පන්දුවාර 15දී කඩුලු ලබා නොදී ලකුණු 45ක් ලබාගැනීම වුව ප්‍රමාණවත් යැයි සිතූ යුගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 දී පිටියට එක්වන සනත් ජයසූරිය සහ රුවන් කල්පගේ පිටිය සිසාරා පන්දුවට පහරදුන්නේය. සනත්ගේ මේ ප්‍රහාරක ජවය දැක ඔහුට ආරම්භක පිතිකරුවා ලෙසින් උසස්වීම් දී සිදුකළ සනත්-කලූ ද්විත්ව ප්‍රහාරය ලෝකයේ එක්දින ක්‍රිකට් රටාව උඩු යටිකුරු කළේය. මුරලිගේ දඟ පන්දුවත්, චමින්ද වාස්ගේ වේග පන්දුවත් ටෙස්ට් පිටියේ මෙන්ම එක්දින පිටියේද එකසේ ඵල දැරුවේය. අරවින්ද නම් පිතිකරුවා පමණක් නොව අරවින්ද නම් පන්දුයවන්නා අවශ්‍ය තැනදී පිටියේ සිදුකළ දෑ, දස්කම් පමණක් නොව විස්කම්ය. හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, ටී.එම් ඩිල්ෂාන් ගේ පිතිරඹය, රංගන හේරත් ගේ කඩුලු හරඹය…එක්දින ලෝක කුසලාන හා අනුශූරතා ද්විත්වය… පන්දුවාර 20 ලෝක කුසලාන සහ අනුශූරතා ද්විත්වය.

කෙස් ගණනට ක්‍රීඩකයෝ ජාතික පිලට එති. එහි තම ස්ථානය ස්ථාවර කරගත් හෝ සටනක් දීමට හැකි වන්නෝ ඇස් ගාණටවත් ඉතිරි නොවෙති. කණ්ඩායම් හැඟීම ඇති ක්‍රීඩකයන් යනු වඳවී ගිය සත්ත්ව කොට්ඨාසයකි. කණ්ඩායම් නායකත්වයට ගෙවල්වල සිටින ගෑනුන්ද සටනේය. කණ්ඩායමේ සාමාජිකයන්ගේ දක්‍ෂතා පිළිබඳ පුහුණුකරුගේ කාර්යභාරය ගංගා මෑණියන් විසින් භාරගෙන ඇත. හතුරුසිංහ නාමයේ පතුරු ගලවමින් අපේ ඈයෝ එක සීරුවට පරදිති. ක්‍රීඩා ඇමැති අනෙක් සියලු කටයුතු පසෙකලා සුදු පරෙවියකු බවට පත්වී මාලිංග, තිසර හා මැතිව්ස් තුන්කට්ටුව අතර පියඹමින් සාමයේ පනිවුඩය බෙදයි. ලෝක කුසලානට ප්‍රථම ඉතිරිව ඇති අවසන් තරගාවලියට තවත් අලුත්ම ක්‍රීඩකයන් පිරිසක් යැවීමට මේ වන විට කටයුතු සූදානම්ය. මේවා අතීසාරයට අමුඩ නොවී අවම වශයෙන් අතීසාරයට ‘පැම්පර්ස් ’ ඇන්දුවාවත් වේ නම් මේ මොහොතේ එයද ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මේ ඛේදජනක වර්තමානය ගැන ලියා අවසන් කළ නොහැකි තරම්ය. අද කළුවර හෙට අහවරවී නව එළි පායානු ඇතැයි බලාපොරොත්තුවෙන් ජාතික කණ්ඩායම ගැන සිතීම පසෙකලා අපගේ 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සිදුවන ඉසව්වට ඇදුනෙමු.

ඒ සොඳුරු අතීතයේ ජයග්‍රාහී සාධකයක් පිටියේ සැරිසරයි. හේ චමින්ද වාස්ය. පන්දුවෙන් පමණක් නොව, පිත්තෙන්ද ඒ ජයග්‍රාහී අතීතය ලියූ වාස්, පිටිය අයිනේ ගස් සෙවණක හිඳ ඉතාම සුහද කථාවක් ඇරඹීය. ඔහු චරිත වශයෙන් කිසිවෙක් විවේචනය නොකළේය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දශක 2කට ආසන්න අත්දැකීම් ඇසුරින් වත්මන් ක්‍රිකට් පරිහානියේ හේතු දක්වනු වෙනුවට, හදාගත යුතු තැන් ගැන කථා කළේය. හැදෙන ක්‍රීඩකයන්ට මෙන්ම, ජාතික කණ්ඩායමට වරම් හිමිකරගත් ක්‍රීඩකයන්ටද ඒ වචනවලින් ගත යුත්ත නොමඳව ගත හැකිය. ඔහු ‘තමා සම්මතයේ සිට’ අද කාලයේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඔවදන් දුන්නේය.

‘මගේ වැඩපිළිවෙළ සරළයි. මම හතරෙ සීමාවෙන් ඇතුළු වුණහම ඒ සීමාව ඇතුළෙ සිද්ධවෙන හැම දෙයක් ගැනම ඇහැගහගෙන වැඩකරන ක්‍රීඩකයෙක්. ක්‍රිකට් කියන්නෙ මගෙ රස්සාව. ඒ කියන්නේ රාජකාරිය. පිට්ටනිය මැද්දෙ ඒ රාජකාරිය හරියට කරන්න නම් දක්‍ෂතා දක්වන්න ඕනේ. කඩුලු අතර ඉන්න ඕනේ. ලකුණු අතර ඉන්න ඕනේ. හරි දේ කරන්න ඕන. හැබැයි ඒ හතරෙ සීමාවම පැන්නුවට පස්සේ මම වෙනම පුද්ගලයෙක්. අපි දැනගන්න ඕනේ ක්‍රීඩකයෙක් හැටියට අපේ ස්විච් එක ඔන් කරන වෙලාව මොකක්ද, ඕෆ් කරන වෙලාව මොකක්ද කියලා. මම ටෙස්ට් මැච් එකකට යනවා නම් ඒ සුදු ඇඳුම ඇඳගත්තහම ඒ තරගය මගෙ ඇඟ ඇතුළට එනවා. සමහර විට එදා දවසෙ ඇහැරෙද්දි ඇඟට අමාරුකම් දැනෙනවා. සමහර ප්‍රශ්න ඔළුවේ වැඩකරනවා. ඒත් තරගයට අඳින ඇඳුම ඇඳගත්තහම ඒ කිසිම දෙයක් දැනෙන්නේ නෑ. මගේ රට වේවා, ප්‍රාන්තය වේවා, ක්‍රීඩා සමාජය වේවා මම නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් මගේ යුතුකම ඉෂ්ට කරනව කියන සතුට තියෙන්න ඕනේ. ඒ වගේම අර කියපු ස්විච් එක ඔන් කරන ඕෆ් කරන වෙලාව හරියටම අඳුන ගත්තොත් ක්‍රීඩකයෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන්’

වාස් කියන්නේ ආරූඪයක් ගැනය. ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට ‘ආවේශ’ විය යුතු මොහොත හා එම ආවේශයෙන් මිදිය යුතු මොහොත ගැනය.ක්‍රීඩාව යනු නම ඉදිරියේ සදාකාලිකව ජයග්‍රහණයම ලියැවුණු යමක් නොවේ. පරාජයද එහි ඉඳහිට හෝ රැඳෙයි. ඒ පරාජය හමුවේ කරන්නේ කුමක්දැයි ඔහු අපට හෙළි කළේය. ‘වෙච්චි දේ ඉක්මනටම අමතක කරනවා. හැබැයි වෙච්චි දේට අනුව කරන්න ඕන දේ ඒ මොහොතෙම ඒ තැනම තීරණය කරනවා. ‘ඒ මොහොතේ- ඒ තැනම’ කියන එක පිට්ටනිය ඇතුළෙදි හරිම වැදගත්. උදාහරණයක් හැටියට අපි පන්දුවට පහරදෙනවා නම්, ඒ වෙලාවේ වැටෙන බෝලෙට අනුව ඒ තැනම අපි තීරණය කරන්න ඕනෙ අපේ පහර මොකක්ද කියන එක. පිට්ටනිය ඇතුළෙ අනිත් හැමදේකමත් තියෙන්නෙ ‘ඒ මොහොතේ- ඒ තැනම’ කියන සිද්ධාන්තය තමයි’

වාස් එසේ කීවද ඒ සිද්ධාන්තය ප්‍රායෝගික තලයට ගෙන ඒම පහසු නැත. ඒ සඳහා කාලයක් ගතවේ. අපි ‘අත්දැකීම්’ යනුවෙන් පවසන්නේ එයද?

‘අත්දැකීම් කියන දේ වැදගත්. නමුත් ඔය කියපු කාරණය අත්දැකීම්වලින් විතරක් එන දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න තියෙන කැමැත්ත උඩයි ඒක රැඳෙන්නේ. මම ඉගෙන ගන්න හරිම කැමති කෙනෙක්. මම අවුරුදු 15දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන කාලෙ ඉඳලම මම මට වැඩිය දක්‍ෂ කෙනාගෙන්, දන්න කෙනාගෙන් ඉගෙන ගත්තා. කාගෙන්ද ඉගෙන ගන්න දෙයක් තිබුණේ, මම ළඟට ගිහින් කතා කළා. අවශ්‍ය දේ අහගත්තා. මම ඒ වෙනුවෙන් වසීම් අක්‍රම්ට කතා කරල තියෙනවා, ඩෙනිස් ලීලි, වකාර් යූනිස් ළඟට ගිහින් කතා කරලා තියෙනවා. ගොඩක් පන්දු යවන්නන්ගෙන් ඉගෙනගෙන තියෙනවා. පිතිකරණයේදී මම සචින් තෙන්ඩුල්කාර් එක්ක කථා කරල ඉගෙන ගත්තු දේවල් තියෙනවා. බ්‍රයන් ලාරා, ස්ටීව් වෝ, මාර්ක් වෝ…. මේ වගේ අයත් එක්ක කතා කරලා මට ගන්න තිබෙන දේ මම ගත්තා. මම පුහුණුකරුවෙක් හැටියට ඉඳගෙන අදත් ක්‍රීඩකයන්ව අධ්‍යයනය කරලා මම සමහර දේ ඉගෙන ගන්නවා. මම සියල්ලෙන් සම්පූර්ණයි කියල හිතුවොත් වරදිනවා. දැනුම හොයාගෙන යන්න මැළි වුණත් වරදිනවා’

අද අපේ රටේ හැදෙන පරම්පරාවට වරදින තැන් ගැන ඔහු කථා කළේ මෙසේය?

‘අපි හැමතිස්සෙම කොටසක් හිස් කරගෙන හිටියා. ලැබෙන අලුත් දැනුම පුරවගන්න. ඒත් අද කාලයේ ක්‍රීඩකයන්ට මොන තරම් දේවල් ඔළුවට දැම්මත් ඒක ග්‍රහණය කරගන්නවා මදි. පුහුණුකරුවෙක් හැටියට මට ඒක හොඳට පේනවා. ඒ අයගේ මනස කියාදෙන දේට යොමු වෙනවා අඩුයි. ඒ අය ක්‍රීඩාවට වඩා මොන මොනවා හෝ බාහිර දෙයකින් ඔළුව පුරවගෙන ඉන්නවා වගෙයි මට පේන්නෙ. හිස් නැති වුණහම පුරවගන්නේ කොතැනටද?

ඔළුව අනවශ්‍ය දෙයින් පුරවාගනු වෙනුවට සරළ බව තුළ හිස්කරගත් සැහැල්ලුවෙන්, සැලස්මකින් ඉදිරියට යන්න යැයි වාස් කියයි.

‘ඔළුව බර කරගෙන මේ ගමන යන්න බැහැ. හැබැයි තමන්ගේ ඉලක්කය නිතරම සිහි කරන්න ඕනේ. පිතිකරුවෙක් හැටියට මම ලකුණු කීයක් ගහනවද, කඩුලු කීයක් ගන්නවද ඒ ඉලක්කය අධිෂ්ඨානය තියෙන්න ඕනේ. හැම තරගයකටම තමන්ගේ සැලැස්මක් තියෙන්න ඕනේ. සැලැස්මක් නැති තැන අපි ඔහේ ක්‍රීඩාවකට සහභාගි වුණා විතරයි. මම ටෙස්ට් මැච් එකකදි හැමතිස්සෙම හිතනවා අලුත් බෝලෙන් කඩුලු 3ක් ගන්නත් පරණ බෝලෙන් කඩුලු 2ක් ගන්නත්. එතැනදි තණතිල්ල සුදුසු වේගපන්දුවට වාසි ද නැද්ද කියන එක මගේ මනසට අදාළ කරගන්නේ නැහැ. අලුත් බෝලේ අතට ආවහම ඒකෙන් කරන දේ ගැන මට සැලැස්මක් තිබුණා. පරණ බෝලෙ අතට දුන්නහම ඒකෙන් කරන දේ ගැන වෙනම සැලැස්මක් තිබුණා. මම සාර්ථක වුනා නම් හේතුව තමයි ඒක’

ඉගෙන ගැනීම, සැලසුම් කිරීම මෙන්ම වැරදි හදාගැනීම ක්‍රීඩාවේදී එකසේ වැදගත් බව වාස්ගේ මතයයි.

‘අපේ ක්‍රීඩා විලාසයේ දෝෂයක් තියෙන තැනක් වෙනවා නම් ඒක නොපමාව නිවැරදි කරගන්න හැමවිටම සූදානමින් ඉන්න ඕනේ. පාසල් කාලයේ ඉඳලා හැඩගැසුණු ක්‍රීඩාවේ වැරදි පුරුදු හරිගස්සන එක ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒකට දක්‍ෂකම වගේම නිහතමානීකමත් එක වගේම අවශ්‍යයි. මම දැකපු ඉක්මනින්ම නිවැරදි වෙන ක්‍රීඩකයා තමයි අරවින්ද ද සිල්වා. බැට් එක අල්ලන විදිහ පවා ක්‍ෂණිකව වෙනස් කරගන්නවා. ඊට පස්සෙ ඒ වගේ අය වුණේ මහේලයි, සංගක්කාරයි. ඒ නිසා තමයි ඒ ක්‍රීඩකයො සාර්ථක වුණේ. ඒත් එහෙම ක්‍රීඩකයෝ අඩුයි. අද එහෙම ක්‍රීඩකයෝ හොයාගන්න නැති තරම්. වෙනස් වෙන්න ඕනෙ තැන බය නැතිව වෙනස් වුණු අය තමයි මේ ක්‍රීඩාවෙ වෙනසක් කරපු අය’

කණ්ඩායමක් හැටියට පෙරට යෑමට හෝ පසුබැසීමට ක්‍රීඩකයන් අතර සන්නිවේදනය බරපතළ ලෙසින් බලපාන්නේ යැයි වාස් පවසයි.

‘අද කාලෙ අපේ ක්‍රීඩකයො පිට්ටනිය ඇතුළෙ කථාකරන්නේ අන්තිම අඩුවෙන්. තරගයට අවශ්‍ය දේ එතැනදි කථා කරලා තමන්ගේ දායකත්වය දෙන්න ඕනේ. ඒ වුණාට අද ඉන්න සමහර ක්‍රීඩකයො කථා කරන්න බයයි. ඒක එක විදිහක හීන මානයක්. පිට්ටනිය ඇතුළෙ එහෙම වුණත් එතැනින් එළියට ගියහම කථා නොකරන දෙයක් නැති තරම්’

කණ්ඩායම ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ බෙදීම ගැනද සිය අදහස කීමට වාස් අමතක නොකළේය?

‘කණ්ඩායම ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ කියලා නැතිව එකිනෙකා එක්ක ඉතාම විවෘතව කතා කරගන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩකයෙක් තේරුම් ගන්න ඕනේ මේ ක්‍රීඩාවේ ඉතිහාසයක් තිබුණු බව. ඒ ඉතිහාසයේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා දැනගන්න ඕනේ. ඒ ක්‍රීඩකයන්ගේ තැනට එන්න තමන් මොනවද කරන්න ඕනේ කියන එක නිතර හිතන්න ඕනේ. එදා හිටපු ක්‍රීඩකයෝ අද වගේ කිසිම වරප්‍රසාදයක් නැතිව බොහොම දුක්මහන්සියෙන් කපල එළි පෙහෙළි කරපු පාරක තමයි අද අපි බොහොම පහසුවෙන් ඇවිද යන්නේ කියන එක සිහිපත් කරන්න ඕනේ. ඒ ක්‍රීඩකයන්ටත් වැඩිය දෙයක් කරන්න පුළුවන් නම් තමයි අපිට ඒ අය වෙනුවෙන් නියම කළ ගුණ සැලකීම කරන්න පුළුවන් වෙන්නේ’

ඇත්තටම අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අහේනියක් තිබෙන්නේද? අපි ඔහු වෙත අවසන් ප්‍රශ්නය යොමු කළෙමු.

‘අද ලංකාවේ පාසල් 1000කට වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරනවා. 19න් පහළ ගත්තොත් ක්‍රීඩකයෝ 15,000ක් විතර ක්‍රිකට් ගහනවා. පළමු කාණ්ඩයේ තරගාවලියේ ඉන්නවා කණ්ඩායම් 36ක්. දෙවැනි කාණ්ඩයේ කණ්ඩායම් 32ක් ඉන්නවා. තවත් කාණ්ඩ දෙකක කණ්ඩායම් තියෙනවා. පුද්ගලික ඕනෑ එපාකම්වලින් මිදිලා, හරි පුහුණුකරුවන්, හරි තේරුම් කමිටුවක් එක්ක ක්‍රීඩකයන් හදනවා නම්, හඳුනාගන්නවා නම් ඒ හැටි අහේනියක් නෑ. නමුත් ඒ වගකීම එක් අයෙකුට භාරදෙන්නේ නැතිව රටම පොදු ආකල්පයකින් ක්‍රිකට් වටා එක් වෙනවා නම්, ඒ වගේම එතැනදි සදාචාරයයි, මනුෂ්‍යත්වයයි කියන තැන පිහිටනවා නම් ක්‍රිකට් ආයෙත් පීල්ලට ගන්න පුළුවන්’

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ අතිදක්‍ෂයන් අතරේ චමින්ද වාස් නාමය රැඳුණේ ඒ දැක්මෙනි. ඔහු ආ මග එසේ කීවේය. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙර මග සකසා ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේද? ඒ කිවූ දේ ඇසුරින් ඒ සොඳුරු අතීතය නැවත කැඳවිය නොහැකිද?

0 comments

Post a Comment

Trending

facebook