අවුරුදු 71 ක් මේ රට පාලනය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි. දැන් රට දියුණුවෙලා තියෙනවාද. මහින්ද මහත්තයාගේ කාලේ රට සංවර්ධනය කළා ඒක ඇත්ත. ඞී.එස්. සේනානායක මහත්තයාගේ කාලේ ජනපද පිහිටෙව්වා ඒකත් ඇත්ත. නමුත් අපි අනෙත් රටවල් එක්ක බලනකොට තාම ඉන්නේ ඉතාමත්ම දිළිඳු තැනක.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා මේ අදහස් පළ කළේ මතුගම ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුර කතා කළ ඒ මහතා මෙසේද පැවසීය….

“දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ මේ රටට ඉතාම බුද්ධිමත් හොඳ තරුණ තරුණියෝ නායකත්වය ගන්න. ඒ නිසයි මම කියන්නේ පන්ති යනවා වගේම, ඉගෙන ගන්නවා වගේම, විභාග පාස් කරලා රැකී රක්ෂාවලට යනකොට මේ රටේ අනාගතය ගැන හිතලා මේ රට භාර ගන්න ඕනා.

මහින්ද මහත්තයගේ කාලේ මේ රටේ විශාල සංවර්ධනයක් වුණා. පාරවල් හැදුවා, පාසල් හැදුවා, රෝහල් හැදුවා, ණය අරගෙන හරි.

නමුත් මේ වත්මන් ආණ්ඩුව ආවට පස්සේ අවුරුදු හතරක් කිසිම දෙයක් කරලා නැහැ. දැන් බලන්න ගම්පෙරළිය කියලා ගෙනල්ලා තියෙනවා. ඒකෙන් එක ග‍්‍රාම සේවක කොට්ඨාශයකට ලක්ෂ ගාණක් වියදම් කරනවා කියලා තියෙනවා. හැබැයි සල්ලි නැහැ. මොකද මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලාම වැඩ කළේ නැහැ. මුදල් එව්වේ නැහැ. මුදල් වියදම් කළේ නැහැ. ඒ ගොල්ලන් හම්බ කළා විතරයි. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා මේ ආණ්ඩුව පරද්දන්න ඕන.

සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු හතරක් යන කම් මේ රටේ කිසිම දෙයක් කළේ නැහැ. කෙරුවානම් කියන්න. නමුත් දැන් මේ මෑත කාලයේදී එතුමා තහනම් ද්‍රව්‍යය අල්ලන්න පටන් ගත්තා. මේක වර්ධනය වුණා එයාගේ ආණ්ඩුව කාලේ. ඒ ආණ්ඩුව කාලේ ඕන තරම් ගෙනාවා. තව අවුරුද්දයි තියෙන්නේ ජනාධිපති මැතිවරණයට. ඒ අවුරුද්ද බලලා එතුමා හොඳ සේවයක් කරනවා. අල්ලනවා. ඒක අපේ රටට ඉතාම හොඳ දෙයක්.

අපි සිරිසේන මහත්තයට විරුද්ධ වුණා. මම විරුද්ධ වුණා. මොකද එජාපය එක්ක ආණ්ඩු හදන්න මම එන්නේ නැහැ කිව්වා. ඒ වගේම එතුමා ගැන අපි විවේචනය කරා. නමුත් ඉදිරියේ මේ ජනාධිපතිකම ඉලක්ක කරගෙන දැන් එතුමා වැඩ කොටසක් කරනවා.

අපිට ඕන හොඳ පාලකයෙක්. කොන්ද පණ තියෙන පාලකයෙක්. මේ රටේ කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නේ එක්කෙනයි. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. එතුමාට මේ රට දියුණු කරන්න පුළුවන්.

ඉතින් මම කියන්නේ මහින්ද මහත්තයා තමා ඉල්ලන්න ඕනා. එතුමාට ඉල්ලන්න බැහැ කිව්වට මම පිළිගන්නේ නැහැ. මම කිව්වා සිරිසේන මහත්තයාට හවුල් ආණ්ඩුවකට යන්න එපා ඔබතුමා අමාරුවේ වැටෙනවා කියල. අද ඒක හැමෝම පිළිගන්නවා. මම අපේ නායකතුමාට කිව්වා ඔය අගමැතිකම භාර ගන්න එපා අමාරුවේ වැටෙනවා කියලා. මොකද අපිට බහුතරය නැහැ. ඔයාගේ කකුලෙන් ඇදලා බිමට දානවා කියලා සිරිසේන මහත්තයා. මොකද ඔයා උඩම ඉන්නේ.

අද කාන්තාවෝ වැඩිය කුස්සියට යන්නේ නැහැ, මොකද අද ඔක්කොම රස්සාවල් කරනවා. නමුත් බලය තියෙන්නේ කාන්තාවන්ට. ඒ නිසා මම කියනවා ඔවුන්ට දැන් එළියට එන්න. විශේෂයෙන්ම තරුණ අය එළියට ඇවිල්ලා මේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැත්නම් මේ මන්ත‍්‍රීවරු පත්කරන්නවත් වෙන දෙයක්වත් නෙමෙයි මේ රට හරි තැනට ගේන්න ඔයගොල්ලො ඉදිරිපත් වෙන්න ඕන. මේකෙන් වාසිය අවාසිය එන්නේ ඔබගේ දරුවන්ට. මම නිතරම කතා කරන්නේ දරුවො ගැන.

අපේ කාලේ දැන් ඉවරයි. අපිට ඕන මේ දරුවන්ව ඉදිරියට ගේන්න. මේ දැන් ඉන්න දරුවො කවුරුත් වැරදි වැඩ වාට කැමති නැහැ. මේ දරුවන්ට ඕන හොඳ පාලකයෙක්, හොඳ ආණ්ඩුවක්, මේ රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවක්.

මේ දරුවන්ගේ අතේ හැමෝගෙම කොම්පියුටර් තියෙනවා. මේ ටෙලිෆෝන් එක ගත්තම අතට මේකෙන් යන්න පුළුවන් අන්තර් ජාලය හරහා මුළු ලෝකෙටම. ඒකේ දැනුම තියෙන්නේ මේ තරුණ දරුවන්ට. ඒ දැනුම අපිට නැහැ.

මම කියන්නේ අවුරුදු 65 පැන්නට පස්සේ දේශපාලකයෝ විශ‍්‍රාම යන්න ඕන කියලා. දැන් මමත් ඉන්නේ හැටපහ පැනපු ලැයිස්තුවේ. ඒ නිසා අපි තරුණ තරුණියන්ට තැන දෙන්න ඕනා. ඒ තැන දුන්නොත් තමා මේ රට දියුණු කරන්න පුළුවන්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් හා කාන්තා ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

0 comments

Post a Comment

Trending

facebook