Popular Posts








පරිඝණකයෙන් බලා තනිව ඉගෙන විවිධ වර්ගයේ විදේශිය ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ඇල්පිටිය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඇල්පිටිය, නුගේතොට ප‍්‍රදේශයේ ගරාජයක් මුවාවෙන් මෙම ආයුධ කම්හල පවත්වාගෙන ගොස් තිබේ. මෙම ආයුධ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් හා ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2019 පෙබරවාරි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා සිකුරාදා (15) නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීමැදුම, බද්දේගම ලිපිනයේ පදිංචි අජිත් කුමාර (35) නමැති පුද්ගලයෙකි.

ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයෙකු බවද ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරු සමග ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් යන්ත්‍රයක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා අංග සම්පූර්ණ ගිනි අවියක් ද ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර එම ගිනි අවි නිපදවා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු කිසිදා පාසල් නොගිය අයෙකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකරු කොපමණ කාලයක සිට ගිනිඅවි නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳ සහ සැකකරු කොපමණ ගිනිඅවි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව ඇල්පිටිය පොලීසිය කියයි.

0 comments

Post a Comment

Trending

facebook