ජනපති මෛතීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පසුපස ගායන ශිල්පී අමල් පෙරේරා සිටිදැයී සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටියි.

ඒ ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිරගත කර සිටිනා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගායක අමල් පෙරේරා අතර සබදතා ඇතැයි තොරතුරු ලැබීමත් සමගයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටිනා අතර, ජනපති ඝාතන තැතට මාකඳුරේ මදූෂ් සම්බන්ධ කර ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා සැලසුම් කර තිබෙන බව මින්පෙර හෙළිවිය.

ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අත් අඩංගුවට පත්වන්නේ පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සාදයකදීය.

මේ අනුව නාලක සිල්වා, මාකදුරේ මධුෂ්, ගායක අමල් පෙරේරා අතර සබදතා ඇතැයි තොරතුරු ලැබෙමින් ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඊයේ දිනයේ (13) කරුණු වාර්තා කලේය.

නාලක සිල්වා හා අමල් පෙරේරා අතර පැවති සම්බන්ධය කුමන ආකාරයක එකක්දැයි ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව පරීක්‍ෂණ පවත්වන බවත් ඔවුන් කියා සිටියේය. රහස් පොලීසිය විසින් මෙම කරුණු හෙලි කර සිටියේ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සිදු කල බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයට ගොස් අමල් පෙරේරා, නාලක ද සිල්වා හමු වී ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ගායන ශිල්පී අමල් පෙරේරා 2016 වසරේ ජූලි 21 වැනිදා නාලක ද සිල්වා මුණ ගැසීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගිය බවත් පැමිණි හේතුව විමසූ පොලිස් කොස්තාපල්වරයකුට දඬුවම් පමුණුවා ඇති බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දුෂණ මර්ධන බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර කියා සිටියේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට මාකඳුරේ මදූෂ්ගේ සහය අවශ්‍ය නම් ලබාගැනීමටද තමනට හැකි බව නාලක සිල්වා මහතා පැවසූ බවය.

0 comments

Post a Comment

Trending

facebook